කායික රෝගරෝගසංවාද

දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ නම් වසරකට එක්වරක් නොවරදවාම අක්ෂි පරික්ෂණයකට යොමු වන්න

ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් ජනතාව දියවැඩියා රෝගය පිළිබදව දැනුවත් කිරිමත්, පෙනීමේ සංකූලතා නිවාරණය කර අන්ධභාවයට පත්වීමෙන් ආරක්ෂා කර ගැනීමත් අරමුණූ කර ගනිමින් මාධ්‍ය සම්මන්ත්‍රණයක් කොළඹ ජාතික අක්ෂි රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. 

මෙම මාධ්‍ය සම්මන්ත්‍රණය සෞඛ්‍ය අමාත්‍යාංශය, විෂන් 2020 වැඩසටහන, ශ්‍රී ලංකා අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකාවේ දෘෂ්ටි විතානය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව සංවිධානය කර තිබුනි.

මෙහිදී ලෝක ජනගහනය සහ දියවැඩියාව රෝගයේ වත්මන් තත්ත්වය, මෙරට දියවැඩියා රෝගයේ වත්මන් තත්ත්වය, දියවැඩියාව නිසා ඇතිවන අක්ෂි ආබාධ, අවධානම් සහගත කණ්ඩායම්, රෝගීන් හදුනාගැනීම, ප්‍රතිකාර සේවාවන් සදහා යොමු කිරිම, ප්‍රතිකාර සිදුවන ආකාරය සහ ජනතාවට  රෝගය පිළිබදව දැනුවත්භාවය ලබාදිම පිළිබදව මාධ්‍ය දැනුවත් කරන ලදි.

දියවැඩියාව යනු ශරීරයේ සීනි ප්‍රමාණය පමණට වඩා වැඩීවීමයි, කාලයක් මෙම තත්ත්වය පැවතුනහොත් එයින් ඇතිවන අතුරු ප්‍රතිළුල බොහෝ වන අතර, ශරීරයේ වැදගත් අවයව වලට මෙන්ම පෙනුම ලබාදෙන ඇසට ඉතාමත් භයානක ලෙස බලපානු ලබයි. ඇසේ වෙනස්වීම් අතර ප්‍රධාන ක්‍රියාව සිදුවන්නේ පෙනුම ලබාදෙන රෙටිනා පටලයේ (දෘෂ්ටි විතානයේ) අළුත් ලේනහර ලියලීම, ලේ ගැලීම්, අළුතින් පටල වැඩීම් වැනි දේ විශේෂ වන අතර, මෙම තත්ත්වය වැඩිකාලයක් පැවතුන හොත් ඇසේ පෙනීම නැතිවීම සහ  අන්ධභාවයට ලක්විය හැක. දියවැඩියා රෙටිනෝපති යනු දියවැඩියා රෝගයේ දිගුකාලීන සංකූලතාවයකි. මුල් කාලයේ රෝග ලක්ෂණ නොමැත. සමහර රෝග ලක්ෂණ ලෙස පෙනීම නොපැහැදිලිවීම, වළාකුළු මකුළු දැල් වැනි කුඩා කැබලි පාවීම, රාත්‍රියේ දී පෙනීමේ අපහසුව, වර්ණ පෙනීමේ ගැටළු සහ හදිසි පෙනීම නැතිවීම පෙන්වා දිය හැක. දෘෂ්ටි විතානයෙහි කහ ලපය කොටස ඉදිමීම නිසා ඉහත රෝග ලක්ෂණ අතරට මැද පෙනීමේ නොපැහැදිලි බව, පැල්ලම් හෝ ඉරි, සරළ රේඛා රැලි සහිත ලෙස දැකිම සහ වර්ණ අදුරු හෝ අවපැහැවිම ද ඇතුලත් වේ.

මෙරට  සියයට 11 ක් පමණ දියවැඩියාවෙන් පෙළෙන බවත්, මෙය දිස්ත්‍රික්ක අනුව වෙනස් විය හැකි බවත්, කොළඹ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල වැඩි ප්‍රතිශතයක් බලාපොරොත්තු විය හැකි බව ද  මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකාවේ දෘෂ්ඨි විතානය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා පැවැසීය. මෙය සීග්‍රයෙන් වර්ධනය වන ගැටළුවක් වන බව ද ඒ මහතා පැවැසීය.   

2021 වසරේ දී ලෝක ජනගහනයෙන් මිලියන 537 ක් දියවැඩියාවෙන් පෙළුන බවත්, මෙම රෝගීන්ගෙන් මිලියන 145 ක් (35%) ක් දියවැඩියාව හේතුවෙන් දෘෂ්ඨි විතානයේ රෝග තිබෙන බව ද එම සංඛ්‍යාවෙන් මිලියන 45 ක් (11%) ක් අන්ධ විය හැකි බවට තහවුරුව ඇති බව ද ඒ මහතා පැවැසීය.

2030 දී දියවැඩියාව ඇති රෝගින් මිලියන 643 ක් සහ හදුනා නොගත් දියවැඩියාව මිලියන 240 ක් අපේක්ෂා කරන බවත්, 2040 දී දියවැඩියා රෝගීන්ගේ අපේක්ෂිත සංඛ්‍යාව මිලියන 783 ක් බව ද පැවැසු අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක මහතා දියවැඩියා අක්ෂි රෝගය වයස අවුරුදු 25 සිට 74 දක්වා කාණ්ඩවල අන්ධභාවයට ප්‍රධාන හේතුවක් බව ද පැවැසීය. සාමාන්‍යයෙන් දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයින් 03 දෙනෙකුගෙන් 01 අයෙකුට දියවැඩියා රෙටිනෝපති තත්ත්වය ඇති බවත්, ඉන් 10 න් 01 කට අන්ධභාවයට පත්වීමේ අවධානමක් ඇති බව ද පෙන්වා දෙන ලදි. දියවැඩියා රෙටිනෝපති වැඩ කරන වයස්වල ජනගහනය අතර අන්ධභාවයට වඩාත් පොදු හේතුව ලෙස සැළකෙන බව ද පැවැසීය.

දෘෂ්ඨි විතානය පිළිබදව අක්ෂි ශල්‍ය වෛද්‍ය මංගල දනපාල මහතා කියා සිටියේ නාගරික ප්‍රදේශවල දියවැඩියා රෝගීන් බවට තහවුරු කරගත් ප්‍රමාණය සියයට 20 ක්  බවත්, කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 27 ක් දියවැඩියාවෙන් පෙළෙන බවට වාර්තාවල සදහන් බවයි.  මෙය ගම්බද ප්‍රදේශවල සියයට 08 ක් පමණ බව ද පැවැසීය. දල වශයෙන් වැඩිහිටි ජනගහනයෙන් වයස අවුරුදු 18 ට වැඩි පිරිසෙන් සියයට 20 කට දියවැඩියාවට ගොදුරුව ඇති බව ද ඒ අනුව මෙරට ජනගහනයෙන් මිලියන 03 ක් හදුනාගත් සහ ප්‍රතිකාර ලබාගන්නා දියවැඩියා රෝගීන් සිටින බවත්, ලක්ෂ 03 ක් වැඩකරන ජනතාව දියවැඩියාව නිසා අන්ධභාවයට පත්ව සිටිය යුතු බව ද පැවැසිය.

දියවැඩියා රෝගයෙන් පෙළෙන්නේ නම් වසරකට එක්වරක් නොවරදවාම අක්ෂි පරික්ෂණයකට යොමු වන ලෙස ජාතික අක්ෂි රෝහල ජනතාවගෙන් මෙහිදී ඉල්ලා සිටින ලද අතර, සෑම පුද්ගලයෙකුම අක්ෂි පරික්ෂාවක් සිදු කර ගැනීමෙන් රෝගය කල්තියා හදුනාගත හැකි බවත්, නිසි ප්‍රතිකාර ලබාදීමෙන් අන්ධභාවයට පත්වීමෙන් ආරක්ෂා විය හැකි බව ද  මෙහිදී පෙන්වා දෙන ලදි.

සියළුම දියවැඩියා රෝගීන්, දිගුකාලීන දියවැඩියා රෝගීන්, දුර්වල දියවැඩියා පාලනය සහිත රෝගීන්, අධි රුධිර පීඩනය සහිත රෝගීන්, ගැබිනි මව්වරුන්, වකුගඩු රෝගීන්, තරබාරුකම, අධික කොලොස්ටරෝල් සහිත රෝගීන්, දුම්පානය කරන්නන් සහිත රෝගීන් දියවැඩියා රෙටිනෝපති රෝගී අවධානමට ලක්වන බවත්, දියවැඩියා රෙටිනෝපති වැළැක්වීම සදහා රුධිර සීනි පාලනය කිරීම, දියවැඩියා රෝගයට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා සමග නියමිත පරිදි සායනවලට සහභාගිවීම, රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම, නිතිපතා ව්‍යායාම  සිදු කිරීම, සුවය සදහා ආහාර අනුභව කිරිම, දුම්පානය අත්හැරීම, අවම වශයෙන් වසරකට වරක්වත් අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු සමග ඇස් පරීක්ෂා කිරිම, අක්ෂි ශල්‍ය වෛද්‍ය උපදෙස් පිළිපැදීම සිදු කළ යුතු බව ද මෙහිදී පෙන්වා දෙන ලදි.

Related posts
කායික රෝගපුවත්

දියවැඩියාව පාලනයේදී ඖෂධ භාවිතයේ වැදගත්කම හා ඒ සම්බන්ධ දුර්මත පිටු දැකීම

වෛද්‍ය කයත‍්‍රි පෙරියසාමි…
Read more
කායික රෝගරෝග

ඔබේ හදවත එක්ක සෙල්ලම් කරන්න එපා!

ඔව්, එය ඇත්තටම භයානක තත්වයක්! ඔබට…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

3 Comments

Leave a Reply

Your email address will not be published.