පුවත්

මෙඩිහෙල්ප් රෝහල හා ඉන්දියාවේ ඇපලෝ රෝහල සායනික ගිවිසුමකට අත්සන් තබයි

මෙරට ප්‍රමුඛ පෞද්ගලික රෝහල් සමූහයක් වන මෙඩිහෙල්ප් රෝහල් සමූහය ඉන්දියාවේ ඇපලෝ රෝහල් සමූහය සමඟ උපායමාර්ගික සායනික හවුල්කාරිත්වයකට එළැඹෙයි. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අත්සන් කරන ලදී. මේ යටතේ ඒකාබද්ධ සායනික කටයුතු, දැනුම හුවමාරු වැඩසටහන්, විශේෂ රැකවරණ පහසුකම්, රෝග වළක්වා ගැනීමට වන මුලපිරීම්, අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය යන අංශවලට අදාළ උපායමාර්ගික රාමුවක් නිර්මාණය කෙරේ. මේ හරහා ගෝලීය වශයෙන් පිළිගත් පුරුදු ප්‍රවර්ධනය කරමින් මෙරට සායනික ප්‍රමිති ඉහළ නංවනු ඇත. මෙඩිහෙල්ප් රෝහලේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න සහ ඇපලෝ රෝහලේ ජාත්‍යන්තර උප සභාපති ජිතු ජෝස් අදාළ ගිවිසුමට අත්සන් තැබූහ. ඉහළ යන සෞඛ්‍ය අවදානම සහ නිරන්තරයෙන් වෙනස් වන රෝග රටා සැළකීමේදී මෙවැනි හවුල්කාරිත්ව අත්‍යවශ්‍ය බව නිශාන්ත ජයමාන්න පැවසීය. “උසස් සෞඛ්‍ය පහසුකම් සඳහා වන ප්‍රවේශය භූගෝලීය සීමාවලින් ඔබ්බට ව්‍යාප්ත විය යුතුයි. මෙම ඒකාබද්ධ මුලපිරීමේ කොටස්කරුවෙකු වීම අපට විශාල සතුටක් සහ ආඩම්බරයක්.” ජිතු ජෝස් පැවසීය.

මීට සමගාමීව අක්මා රෝගීන්ට සෘජු විශේෂඥ උපදෙස් ගත හැකි දුරකතන අංකයක් හඳුන්වා දෙන ලදී. 0764584622 යන අංකයට සාමාන්‍ය හෝ වට්ස්ඇප් ඇමතුමක් ගෙන හෝ කෙටි පණිවුඩයක් ඔස්සේ අවශ්‍ය උපදෙස් ගත හැකිය. චෙන්නායිහි ඇපලෝ රෝහලේ අක්මා බද්ධ කිරීම පිළිබඳ වැඩසටහන් ප්‍රධානී වෛද්‍ය එලන්කුමාරන් අක්මා බද්ධ කිරීම්වලට අදාළ නව ප්‍රවණතා පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කළේය. වැඩිහිටි පුද්ගලයන්ට හා ළමුන්ට කළ අක්මා බද්ධ කිරීම් පිළිබඳව අදහස් දැක්වූ ඔහු පැවැසුවේ Robotic-assisted Surgery වැනි උසස් තාක්ෂණික ක්‍රම නිසා ක්ෂේත්‍රය විශාල ප්‍රගතියක් ලබා ඇති බවයි. ඇපලෝ රෝහල අක්මා, වකුගඩු, හදවත්, පෙනහැලි බද්ධ කිරීම් කරන ලොව වඩාත් කාර්යබහුල රෝහල්වලින් එකකි. කොඳු ඇට පෙළ ආශ්‍රිත ශල්‍යකර්ම පිළිබඳ විශේෂඥ වෛද්‍ය අප්පාජි ක්‍රිෂාන් එම ශල්‍යකර්මවලට අදාළව ලබා ඇති දියුණුව පිළිබඳව දැනුවත් කිරීමක් කළේ ඔහු ලැබූ සායනික අත්දැකීම්ද බෙදා ගනිමිනි. ඔහුගේ ඉදිරිපත් කිරීමට මෙරට රෝගීන්ට යොදා ගන්නා ස්කෝලියෝසිස් සුව කිරීමේ ක්‍රමවේද සහ ඇපලෝ රෝහලේ ස්ථාපනය කර ඇති අති නවීන Globus Robotic Spine System පිළිබඳ තොරතුරු ඇතුළත් විය. ප්‍රාථමික සෞඛ්‍යය, වසංගත සහ කොවිඩ් රෝග පාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, ජ්‍යෙෂ්ඨ සර්වාංග රෝග විශේෂඥ වෛද්‍යවරු සහ අනෙකුත් වෛද්‍යවරු රැසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. ඇපලෝ රෝහල සතු ධාරිතාව සහ අති නවීන පහසුකම් විදහාපාන වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කරමින් උත්සවය ඇරැඹිණි.

දශක හතරකට වැඩි ඉතිහාසයක් සහිත මෙඩිහෙල්ප් රෝහල් සමූහය මධ්‍යස්ථාන 16කින් සහ බහුවිශේෂඥතා රෝහල් දෙකකින් සමන්විත මෙරට විශාලම ජාලයට හිමිකම් කියයි. එම රෝහලට අයත් ‘Revival’ මෙරට විශාලම භෞත චිකිත්සක සායන ජාලය වේ. ඉන්දියාවේ පළමු ආයතනික රෝහල ලෙස වෛද්‍ය ප්‍රතාප් රෙඩ්ඩි 1983දී චෙන්නායිහිදී ඇරැඹූ ඇපලෝ රෝහල වර්තමානයේදී ආසියාවේ විශාලම සහ විශ්වාසනීයම රෝහල් සමූහය බවට පත් වී ඇත. ඊට රෝහල් 74ක්, ඇඳන් 10000ක්, 7000කට වැඩි ඔසුසල් සංඛ්‍යාවක්, ප්‍රාථමික මධ්‍යස්ථාන 100ක්, රටවල් 25ක් පුරා විහිදුණු ටෙලිමෙඩිසින් ඒකක 100ක්, වෛද්‍ය ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ සේවා, සෞඛ්‍ය රක්ෂණ සේවා, ගෝලීය ව්‍යාපෘති උපදේශන, හෙද හා රෝහල් කළමනාකරණ විද්‍යාල 15ක්, ගෝලීය සායනික අත්හදා බැලීම්, වසංගත රෝග අධ්‍යයන, සෛල සහ ජාන පර්යේෂණ සිදු කරන පර්යේෂණ පදනමක් අයත් වේ. සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇපලෝ රෝහල දක්වන දායකත්වය අගයමින් ඉන්දීය රජය සමරු මුද්දරයක්ද නිකුත් කළ අතර එය සුව සේවා ආයතනයක් එවැනි ගෞරවයක් ලැබූ පළමු අවස්ථාවයි. එම රෝහලේ සභාපති වෛද්‍ය ප්‍රතාප් රෙඩ්ඩි 2010දී පද්ම විභූෂණ සම්මානයෙන්ද පිදුම් ලැබීය.

Related posts
පුවත්

IIHS හා NSB ගෝලීය සෞඛ්‍ය අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට එක් වේ

International Institute of Health Sciences (IIHS) ශ්‍රී ලංකාවේ…
Read more
පුවත්

Medicare 2026 ප්‍රදර්ශනයේදී Sands Active සිය ඖෂධ නිෂ්පාදන පරාසය ප්‍රදර්ශනය කරයි

Melwa සමූහයට අයත් Sands Active (පෞද්ගලික) සමාගම…
Read more
පුවත්

සාම්ප්‍රදායික A/L අධ්‍යාපනයට විකල්පයක් ලෙස IIHS International Foundation වැඩසටහන හඳුන්වාදෙයි

IIHS (International Institute of Health Sciences) ආයතනය IIHS International Foundation…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

close-link