මහනුවර සුවසෙවන රෝහල, 1985 අගෝස්තු 1 දින ආරම්භ කරන ලද වසර 40කට අධික කාලයක් පුරා සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත්, මධ්‍යම පළාතේ විශ්වසනීයතම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු ලෙසින් ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සමඟ පවතින අවබෝධතා ගිවිසුම තවත් වසර තුනක කාලසීමාවක් සඳහා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත. අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ ආවරණය වන ශ්‍රී ලාංකීය රජයේ සේවකයින් හට වඩාත් පහසු, විශ්වසනීය සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීමේ මූලික අරමුණ පෙරදැරි කරගනිමින් ඔවුන් මෙම පියවර ගෙන තිබේ.
මෙම නව ගිවිසුමට අත්සන් තැබීම 2026 ජනවාරි මස 06 වන දින දෙපාර්ශවයේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නිල වශයෙන් සිදු කරන ලදී. රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා වැඩිදියුණු කළ වෛද්‍ය ප්‍රතිලාභ සහ සුවිශේෂී වට්ටම් ලබා දීම හරහා ඔවුන්ට විශේෂිත සෞඛ්‍ය සේවාවන් වඩාත් සහනදායී ලෙස ලබා ගැනීමට අවස්ථාව සැලසීමට මෙහිදී අපේක්ෂා කරයි.
මෙම අවස්ථාව සඳහා සුවසෙවන රෝහල නියෝජනය කරමින් ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ශ්‍රීමත් වැලිවිට මහතා, ව්‍යාපාර මෙහෙයුම් ප්‍රධානී නිලූ වේරගම මහත්මිය සහ ව්‍යාපාර සංවර්ධන විධායක අශාන් ප්‍රේමචන්ද්‍ර මහතා සහභාගී වූහ. ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ පවතින අග්‍රහාර රක්ෂණය නියෝජනය කරමින් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරිනී ගමානි ලියනාරච්චි මහත්මිය, සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) සමිල් තුෂාර මහතා, සහකාර කළමනාකාර (අලෙවි) නුවන් දිසානායක මහතා සහ මාණ්ඩලික ලේකම් හා සහකාර කළමනාකාර (නීති) ප්‍රතිභා වැලිකන්න මහත්මිය සහභාගී වූහ.
මෙම නව අවබෝධතා ගිවිසුම යටතේ අග්‍රහාර රක්ෂණාවරණය හිමි රජයේ සේවකයින්ට සුවසෙවන රෝහලෙන් ප්‍රතිලාභ රැසක් පිරිනමනු ලැබේ. ඒ යටතේ රෝහලට ඇතුළත් වීමේ ගාස්තු සහ බාහිර රෝගී අංශයේ (OPD) වෛද්‍ය උපදේශන ගාස්තු සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීමටත්, නේවාසික කාමර ගාස්තු සඳහා 20% ක වට්ටමක් ලබා දීමටත් කටයුතු යොදා ඇත. තවද, නේවාසික සහ බාහිර රෝගීන් සඳහා රසායනාගාර පරීක්ෂණ, CT, USS, MRI, Mammogram, Dexa Scan සහ X-Ray ඇතුළු විකිරණ පරීක්ෂණ මෙන්ම ECHO සහ ECG ඇතුළු හෘද රෝග පරීක්ෂණ සඳහා 10% ක වට්ටමක් පිරිනැමේ. මීට අමතරව, කිලෝමීටර 10 ක් දක්වා ගිලන් රථ සේවාව නොමිලේ සපයනු ලබන අතර, කිරීටක ධමනිය ආශ්‍රිත සැත්කම් සඳහා (CABG) සඳහා රුපියල් 50,000 ක විශේෂ මූල්‍ය සහනයක් ද මෙම ගිවිසුම මඟින් රජයේ සේවකයින් වෙත ලබා දී ඇත.
මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් සුවසෙවන රෝහලේ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ශ්‍රීමත් වැලිවිට මහතා මෙසේ පැවසීය.
“ජාතික රක්ෂණ භාර අරමුදල සමඟ අප අත්සන් කළ මෙම නව අවබෝධතා ගිවිසුම හරහා, අග්‍රහාර රක්ෂණාවරණය හිමි රජයේ සේවකයින්ට රෝහලේ ප්‍රධාන සේවාවන් රැසක් සඳහා මූල්‍ය සහනයක් සැලසීමට අපට අවස්ථාව ලැබෙනවා. මෙය සුවසෙවන රෝහල කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු කරමින්, ගුණාත්මක සෞඛ්‍ය සේවාවන් වඩාත් සමීප කරවීම සඳහා ගත් ප්‍රායෝගික පියවරක්.”
සුවසෙවන රෝහල විසින් මෙලෙස අවබෝධතා ගිවිසුම අලුත් කිරීම මඟින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීමට සහ මෙරට රාජ්‍ය අංශයේ සේවකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ඔවුන් දක්වන නිරන්තර කැපවීම මැනවින් පිළිඹිබු කරයි.


