සමාජ රෝග

වසර 2025 දී ඒඩ්ස්වලට අපි තිත තබමු

විශේෂඥ වෛද්‍ය
රසාංජලී හෙට්ටිආරච්චි
අධ්‍යක්ෂිකා
එච්.අයි.වී. ඒඩ්ස් සහ
ලිංගාශ්‍රිත රෝග මර්දන වැඩසටහන

ලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් 01 වන දිනට යෙදෙන බව අපි දනිමු. “ලංකාවේ තාරුණ්‍යයේ වගකීම ඉටුකරමු – ඒඩ්ස් වලකමු” යන්න මෙවර ඒඩ්ස් දිනයේ තේමාව විය. ගෝලීය තේමාව වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබුණේ ගෝලීය සහයෝගීතාවය සහ හවුල් වගකීම යන්නය. කොවිඩ් වෛරසය මෙවර ලෝක ඒඩ්ස් දිනය සැමරීමට අප කිසිවෙකුටත් ඉඩ නොදුන්නේය. ඒ හේතුවෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය පමණක් භාවිතා කරමින් ඒඩ්ස් රෝගය පිළිබදව හා ඉන් වැළකීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට ලෝකයාට සිදුවිය.

ලෝකයේ බොහෝ රටවල ජනතාව මේ වන විට ඒඩ්ස් රෝගයට ගොදුරුව ඇත. ශ්‍රී ලංකාව ඒඩ්ස් රෝගය ගැන නිරන්තරයෙන්ම කථා කරන අතරම එය වළක්වාගැනීම සඳහා නොයෙකුත් ක්‍රියාමාර්ගයන් අනුගමනය කරමින් සිටී. එහි ප්‍රතිපලය ලෙස ශ්‍රී ලංකාව ඒඩ්ස් පැතිරීමේ අඩු අවදානම් සහිත රටක් ලෙස මේවන විට ලෝක සෞඛ්‍ය සංවිධානය නම්කර ඇත්තේය. එහි ව්‍යාප්තිය 0.02% ලෙස හඳුනාගෙන තිබේ. මෙම අඩු අවදානම තව තවත් අඩුකරගැනීම ඒඩ්ස් මර්දන වැඩ සටහනේ බලාපොරොත්තුව වන්නේය. කෙසේ නමුත් පසුගිය කාලය තුළ එච්.අයි.වී. රෝගීන්ගේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කළේය.
2019 වසරේ දී පමණක් එච්.අයි.වී. ආසාදිතයන් 439ක් සොයාගෙන ඇති අතර ඉන් 359 දෙනෙකුම පිරිමි පුද්ගලයන්ය. පිරීමි පුද්ගලයන් අතර මෙම රෝගය මෙතරම් සීග්‍රයෙන් පැතිර යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පිරිමි පිරිමි අතර පවත්නා අනාරක්ෂිත ලිංගික හැසිරීම් බව රහසක් නොවේ. අනාරක්ෂිත ලිංගික සබඳතාවන් මගින් එච්.අයි.වී. පැතිරීමේ ප්‍රතිශතය 86%කි.
අවුරුදු 15 – 24 වයස් කාණ්ඩයන් යනු ලිංගික හෝමෝන හොඳින් ක්‍රියාත්මක වන කාලයකි. ඔවුන්ට තම ලිංගික ක්‍රියාකාරකම් පාලනය කරගැනීමට අවශ්‍ය දැනුම ලබාදීම අත්‍යවශ්‍ය කරුණකි‍. මේ වනවිට එච්.අයි.වී. ඒඩ්ස් මර්දන වැඩසටහන අධ්‍යාපන අමාත්‍යංශයට යෝජනා කර ඇත්තේ 10වන වසරේ සිට විෂය නිර්දේශයේ ඇතුළත් කර ඇති ලිංගික අධ්‍යාපන කොටස වෛද්‍යවරුන් ලවා දරුවන්ට ඉගැන්වීමේ ක්‍රමයක් සකස් කරන ලෙසය.
මෙමගින් ලිංගාශ්‍රිත රෝග බෝවෙන්නේ කෙසේද, බෝ වූවිට කුමක් සිදුවන්නේද, ඉන් අප වැලකී සිටිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව දරුවන්ට ලබාදෙන දැනුම හරහා ඔවුන්ට ඔවුන්ගේ ලිංගික හෝමෝන පාලනය කරගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. එමගින් අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීම නවතාගත හැකිය. මෙමගින් දරුවන්ව අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වලින් ගලවාගත හැකිය.
විශේෂයෙන්ම මේ වන විට මේ අසාමාන්‍ය ලිංගික ක්‍රියාකරකම්වල, එනම් පිරිමි පිරිමි අතර පවතින අනාරක්ෂිත ලිංගික සබඳතාවන් මෙතරම් ඉහළ ගොස් ඇත්තේ කුමක් නිසාද යන්න කළ සොයා බැලීම්වල දී හෙලි වූයේ මේ තරුණ දරුවන් අන්තර්ජාලය තුළ වැඩි වේලාවක් ගත කරන බවය. තරුණ දරුවන් වැඩිහිටියන් හිතනවාට වඩා තාක්ෂණය අතින් ඉහළ දැනුමකට හිමිකම් කියන්නවුන්ය. මොවුන් අන්තර්ජලයේ සැරිසරමින් නව ලිංගික ක්‍රම සොයායමින් ඒවා අත්හදාබැලීමට පෙළඹී තිබෙන බව ඇතැම් දරුවන්ගේ ෆේස් බුක් ගිණුම් හරහා සැරිසරන පණිවුඩ මගින් පැහැදිලිය.
විවිධ “ඇප්” නිර්මාණය කරමින් නව යහළුවන් සොයාගනිමින් ඔවුන් සමග අනාරක්ෂිත ලිංගික කටයුතුවල යෙදීමට ඇතැම් දරුවන් පෙළඹී සිටියි. ලිංගික සබඳතා පවත්වන නව ක්‍රමයක් එක් සිසුවෙක් සොයාගෙන ඒවා අනෙක් යහඵවන් අතර බෙදාහරී. මෙම නව ලිංගික ක්‍රම අනාරක්ෂිතව. අත්හදාබැලීමේ අවසාන ප්‍රතිපලය වන්නේ මොවුන් එච්.අයි.වී. ආසාදිතයන් වීමය.
රෝග කාරක වෛරසය ශරීරගත වී රෝග ලක්ෂණ පිටවීමට වසර 5ක් පමණ කාලයක් ගතවේ. එම කාලය තුල වෛරසය ශරීර ගත වූ පුද්ගලයකු සමග අනාරක්ෂිතව ලිංගිකව හැසිරෙන නිරෝගී පුද්ගලයන් සියලු‍ම දෙනා ආසාදනයට ලක්වීමේ හැකියාව පවතී.
කෙසේ නමුත් රට තුල එච්.අයි.වී. ආසාදිතයන් 3600ක් දෙනා සිටින බවට ඇස්තමේන්තු සකස් කර ඇති නමුත් මින් ප්‍රතිකාර සඳහා සායන වෙත පැමිණෙන පිරිස 1845කි. ඒ අනුව වෛරසය ආසාදනය වී ප්‍රතිකාර නොලබා සිටින පිරිස 1750ට අධිකය. මොවුන් තමන්ට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී තිබේද යන්න නොදැන කටයුතු කිරීම හේතුවෙන් සමාජයේ තවත් බොහෝ දෙනෙකු ආසාදිතයන් බවට පත්කරනු ඇත. ඔබ අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ නම් වහාම ලිංගාශ්‍රිත සායනයකට ගොස් රුධිර පරික්ෂාවක් කරගැනීම ඔබටත් අන් අයගේ ජීවිතවලටත් වැදගත් ය.
පුද්ගලයකුගේ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට ලිංගාශ්‍රිත රෝග මර්දන වැඩසටහන හැම විටම කටයුතු කරන්නේය. එම නිසා ඔබ බියට හෝ ලජ්ජාවට පත්විය යුතු නැත. ඔබට යම් හෙයකින් වෛරසය ආසාදනය වී ඇත්නම් ජීවිත කාලය පුරාවට ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතුය. එම ඖෂධ මගින් ශරීරයේ පවතින එච්.අයි.වී. වෛරස් ප්‍රමාණය හැකි පමණ පහත හෙලීමට හැකිවේ. එසේ වෛසරය පහත ගිය පසුව තවත් පුද්ගලයකුට එය ආසාදනය නොවේ. මෙවැනි පුද්ගලයකුට විවාහ ජීවිතයක් ගතකිරීමටත් දරුවන් සාදා ගැනීමටත් හැකියාව පවතී. ඔහුගෙන් තම සහකාරියට හෝ සහකරුවාට, දරුවන්ට වෛරසය ආසාදනය නොවේ. ඔබ ඒඩ්ස් තත්ත්වයට පත්වීමට පෙර එනම් එච්.අයි.වී. ආසාදිතයෙකුව සිටින කාලය තුළ ප්‍රතිකාරවෙත යොමුවිය යුතුය. මෙවැනි එක් පුද්ගලයකුට ප්‍රතිකාර සඳහා වසරකට රජය ලක්ෂ 3ක් පමණ මුදලක් රජය වැය කරනු ඇත.
වසර 2025 වනවිට ශ්‍රී ලංකාවෙන් ඒඩ්ස් තුරන් කළ රටක් බවට පත්විය යුතුයැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර ඇත. මෙහිදී එච්.අයි.වි. වෛරසය ආසාදනය වන ක්‍රම 3කි. මවගෙන් දරුවාට, අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම් හා එන්නත් කටු මගින් මත්ද්‍රව්‍ය ශරීරයට ඇතුළු කරගැනීම එම ක්‍රම තුනය‍. මේ වනවිට මවගෙන් දරුවාට එච්.අයි.වී. ආසාදනයන් වළක්වා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය එය පිලිගෙන ඒ සදහා අවශ්‍ය සහතිකය පවා අප රටට පිරිනමා තිබේ.
දැන් අපට ඇත්තේ වසර 2025 වනවිට රටින් ඒඩ්ස් තුරන් කරලීමටය. වසර 2010ට සාපේක්ෂව එච්.අයි.වී. ආසාදිතයන් සියයට 90ක් අඩුකළ යුතුය. එසේම ඒඩ්ස් මරණ සියයට 90ක් අවම කළ යුතුය. මෙම ඉලක්කයන් සපුරාගැනීමට නම් සැඟව සිටින හෝ නොදැන සිටින අසාදිතයන් වහාම සොයාගත යුතුය. එසේ නොවුණහොත් වසර 2025 වනවිට තිරසාර සංවර්ධනයක් සඳහා වන ඉලක්කයට අපට ළඟාවිම සිහිනයක් පමණක් වනු ඇත.

-ශ්‍රීයානි විජේසිංහ

Related posts
සමාජ රෝග

ඇබ්බැහි විය හැකි ඖෂධ

වෛද්‍ය සෂිනි ජයරත්න(MBBS, MSc Community Medicine)පෝෂණ…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.