සංවාද

ශ්‍රී ලංකාව පුරාම සිංහ රසායනාගාර ශාඛා පහසුකම් පුළුල් කිරීම අපේ අනාගත බලාපොරොත්තුවයි

ඒ. එම්. වීරසිංහ – සභාපති
සිංහ රෝහල – රත්නපුර

සත්කාර කරන්නා පිළිබඳව මෙන්ම සත්කාර ලබන්නා පිළිබඳව ද අවධානය යොමු කරමින් මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන සබරගමුව දිස්ත්‍රික්කයේ පිහිටි පෞද්ගලික රෝහලක් පිළිබඳ අපට අසන්නට ලැබිණි. එම රෝහලේ වත්මන් සභාපතිතුමන් සමග එම රෝහලේ සුවිශේෂීත්වය පිළිබඳව අපි මෙසේ විමසා සිටියෙමු.

ඇත්තටම කොහොම ද රෝහල් ක්‍ෂේත්‍රයට පිවිසෙන ආරම්භය ලබාගත්තේ? ඒ සමගම එයට එකතු කරමු අනෙක් ව්‍යාපාර ක්‍ෂේත්‍රයත්.
ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ මම රෝයල් සෙරමික් ආරම්භ කළා. ව්‍යාපාරයක් කරන්න පුළුවන් කියලා කියන දැනීම මට තියෙනවා. මගේ ගම රත්නපුර. රත්නපුරේ සියලු පහසුකම් සහිත පෞද්ගලික රෝහලක අවශ්‍යතාවය මට දැණුනා. රත්නපුර මහ රෝහල ළඟ මම ඉඩමකුත් අරගෙන තිබුණා. ඒක රෝහලකට නොව මගේ ව්‍යාපාරයකට තමයි මම ගත්තේ. ඉතින් ඒකේ මම රෝහලක් හැදුවා.

ඒ මොන කාලේ ද?
මට මතක විදියට 2010 විතර පටන්අරගෙන 2012 තමයි මේ රෝහල පටන්ගත්තේ.

නව රෝහලේ අද තත්ත්වය කොහොම ද?
ඇත්තටම හොඳයි. දැනට 500 දෙනෙකු විතර මෙහි රැකියාව කරනවා. අපේ ළමයිනුත් මේකේ ඉන්න නිසා අපි නැති කාලයක වුණත් එයාලට ඒක සාර්ථකව කරගෙන යන්න පුළුවන්. මගේ ළමයින්ට හොඳට උගන්නලා තියෙනවා. ඒ හැමෝටම උපාධි තියෙනවා. ඒත් අර බුද්ධියේ කතාව නිසා මම හැමතිස්සෙම එයාලගේ පස්සෙන් ඉන්නවා. මොකද උගත්කම තියෙන කට්ටියට ප්‍රායෝගික අත්දැකීම් නැහැ හැම කෙනාටම. ඉගෙනගන්න කෙනාට උගත්කම තිබුණට ප්‍රායෝගික දැනීම නැහැ. කොහොම ද ව්‍යාපාරයක් කරන්නේ, කොහොම ද මිනිස්සුත් සමග ගනුදෙනු කරන්නේ, කොහොම ද උපායශීලී වෙන්නේ, ඒක නිසා මම හැමතිස්සෙම එයාලගේ පස්සෙන් සිටියා. මෙයාලගේ රැස්වීම්වලට මම නිතරම සම්බන්ධ වෙනවා. ඒවාවල ගන්න තීරණවල අඩුපාඩු තියෙනවනම් මා ඒවාට නිසි උපදෙස් ලබාදෙනවා.

ඔබ අධ්‍යාපනය ලැබු පාසල?
මම අධ්‍යාපනය ලැබුවේ රත්නපුර සීවලී විද්‍යාලයෙන්. මම මුලින්ම බටුගෙදර විද්‍යාලය, ඊට පස්සේ ධර්මපාලයේ ඊට පස්සේ සීවලී සෙන්ට්‍රල් එකට ගිහින් ඉන් පස්සේ අන්තිමට ධර්මශාලා පිරිවෙනේ තමයි උසස් පෙළ දක්වා ඉගෙන ගත්තේ.

ඒ ආගමානුකූල සංස්කෘතික පරිසරය ව්‍යාපාර කටයුතුවලට බලපෑමක් කළා ද?
ඔව්, ඒ ධර්මානුකූල පරිසරය මා කිසියම් තැනකට ගේන්න බලපෑවා. ඒකෙදි දුක සැප දරාගන්න, අනෙක් මිනිසුන්ට ප්‍රශ්නයක් නොවන විදියට අප සමාජයේ අනිත් අයත් එක්ක මේ ගමන යන්න ඕන කියන අදහස ඇති වුණා. හොඳ දේවල් කරන්න ඕනෙ, හොඳ ව්‍යාපාර කරන්න ඕන කියන තත්ත්වයට හිතලා හොඳ ව්‍යාපාර කරන්න අප යොමු වුණා.

ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ ඔබේ ආරම්භය සිදුවුණු ආකාරය
මං මුලින්ම ආරම්භ කළේ මැණික් ව්‍යාපාරය. පාසල් යන අතර පවා මැණික් ව්‍යාපාරයට යොමු වුණා. උසස් පෙළ කරන අතරතුර මා ප්‍රේම සම්බන්ධතාවයකට අනුව කසාද බැන්දා. ව්‍යාපාරය ක්‍රමානුකුලව දියුණු කරගෙන රත්නපුරයේ හොඳ මැණික් ව්‍යාපාරිකයෙකු වුණා. මා එතැනින් යොමු වුණේ ටයිල් කර්මාන්තයට. ඒ අනුවයි සුප්‍රකට රෝයල් සෙරමික් ඇහැලියගොඩින් ආරම්භ කළේ.

මේ රෝහල් ව්‍යාපාරයට එනකොට ඔබ වැඩිපුරම හිතුවේ, වැඩි සැලකිල්ලක්, වැඩි අවධානයක් යොමු කළේ වෛද්‍යවරුන්ට ද කාර්ය මණ්ඩලයට ද නැත්නම් රෝගීන්ට ද?
රත්නපුරයේ සියලු පහසුකම් සහිත පෞද්ගලික රෝහලක් නැහැ කියන එක මගේ ඔළුවට ආවා. ඔය අතරතුරේ දී රත්නපුරයේ විශේෂඥ වෛද්‍යවරයකුට අදහසක් ඇවිල්ලා මාත් එක්ක කතා කළා රෝහලක් ආරම්භ කිරීම සම්බන්ධව. ඒ වනවිට පෙර සඳහන් කළ පරිදි මම රෝහල ආසන්නයේ ගොඩනැගිල්ලක් ඉදි කරලා තිබුණ නිසා මම කිව්වා එහෙනම් කරමු කියලා. ටික කලකින් ඔහු රෝහලෙන් ඉවත්ව ගියා. මා පුතුන් දෙදෙනා ද සමග රෝහල ඉදිරියට ගෙනගියා.

එතකොට පුතුන්ගෙන් ලැබුණු දායකත්වය කුමක් ද?
ඔවුන් කළමනාකරණ කටයුතු කරන්නේ. ආරම්භයේ දී ඒ අයට ඒ සම්බන්ධව අත්දැකීම් නැහැ. එහෙත් මගේ වැඩ ටික කරවගන්න පුළුවන්. එයාලට දැනුම තියෙනවා. ඉතින් එයාලත් අනෙකුත් කළමනාකරුවන් ද සම්බන්ධ කරගෙන මා මෙම රෝහල ඉස්සරහට අරන් ගියා.

වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය සපයාගැනීම රසවත් කතාවක් වියහැකි නේද?
ඔව්. රෝහලේ කටයුතු සඳහා ජී. එම්. කෙනෙක් හා කළමනාකරුවකු බඳවාගත්තා. මේ අතර වෛද්‍යවරු හම්බවෙනවා. මේ අයුරින් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ අප කතා කරලා කොහොම ද මේක දියුණු කරන්නේ කියලා එයාලගේ අදහස් ගත්තා. මේ විදිහට අදහස් ගත්තේ මේ රෝහලේ කාමර බෙදිය යුතු ආකාරය, විශේෂඥ වෛද්‍යවරයාට අදාළ වන පරිදි ඩිපාට්මන්ට් එක සකස් කළ යුතු ආකාරය හඳුනාගන්න. එයාලත් එක්ක නිතරම රැස්වීම් තියලා එයාලගෙන් අදහස් ලබාගත්තා කොහොම ද මේ දේවල් කරන්න ඕන කියන එක සම්බන්ධව. ඊට අමතරව අප තව පෞද්ගලික රෝහල්වල සංචාරය කළා. එහෙම කරලා අප අධ්‍යයනය කළා රෝහලක කොහොම ද කාමර තිබිය යුත්තේ, රෝහලක තියෙන්න ඕන උපකරණ මොනව ද, ශල්‍යාගාර සකස් කළ යුත්තේ කෙසේ ද යන කරුණු පිළිබඳව. මේ විදියට හැම දෙයක්ම අධ්‍යයනය කරලා තමයි රෝහලේ පහසුකම් ටික දියුණු කරන්න අප කටයුතු කළේ.

උපකරණ මිලදීගැනීම සම්බන්ධව කතා කළොත්?
මගේ පුතාලා සාමාන්‍යයෙන් තාක්ෂණය සම්බන්ධව දැනුවත් නිසා උපකරණ ගන්නකොට ඒවායේ තත්ත්වය පිළිබඳ හොඳින් සලකා බලා අධ්‍යයනය කරලා තමයි මිලදී ගැනීම සිදු කළේ. ඊට අමතරව එම උපකරණවලට අදාල ඒ ඒ ක්‍ෂේත්‍රවල ඉංජිනේරුවරුන්ගේ උපදෙස් අප ලබාගත්තා. මේ විදියට තමයි රෝහල ගොඩනැගුවේ එයාලගේ දැනුමත් අරගෙන. එතකොට ඒ හැම දේම මගේ මුලිකත්වයෙන් තමයි සිදු වුණේ.
අදාල තාක්ෂණය පිළිබඳව මා දන්නේ නැහැ. මම දන්නේ මේක කරවන්න විතරයි. වෛද්‍යවරයා, වෛද්‍යවරයාගේ කොටස, ගණකාධිකාරවරයා එයාගේ කොටස, එතකොට මගේ පුතාලාගෙන් එයාලා සඳහා අදාල කාර්යයන්ට අදාළ විෂය කොටස, මේ විදියට කට්ටිය සම්බන්ධ කරගෙන මේක කොහොම හරි කරමු කියන එක මගේ ඔළුවේ තියෙනවා. සමහර විට මුල දී පාඩුවට තමයි දුවන්න වෙන්නේ. මොකද රෝහලක් ආරම්භ කළ ගමන්ම මිනිස්සු එන්නේ නැහැ. මිලියන හාර පන්සියයක් පාඩුවුණා. කොහොමත් ඉතින් ආදායමක් නැතුව අපට අවුරුද්දක් පමණ දුවන්න වුණා. ඒත් මම අතඇරියේ නැහැ. මගේ අදහසක් තිබුණා මේක මම කොහොම හරි කරන්න ඕන කියන එක. ඒත් අද වෙනකොට මේක හරි ගිහිල්ලා තියෙන්නේ. දැන් ලාභ ලබනවා. මේ විදිහට තමයි මම මේ සිංහ රෝහල උඩට ගත්තේ.

මේවන විට ඔබගේ රෝහල ලබාගෙන ඇති ඇගයීම් මොනවා ද?
මට සබරගමු පළාතේ හොඳම ව්‍යවසායකයාට හිමි රන් සම්මානය ලැබුණා. අනෙකුත් රෝහල් අභිබවා අපේ රෝහල ඉදිරියට පැමිණිලා තියෙනවා. හැමදෙනාමත් එක්කම අප සහයෝගයෙන් මේ ගමන යනවා. අප හැමදෙනාම එකම පවුලක් විදිහටයි වැඩ කරන්නේ. ඒ නිසා අපට වර්තමාන තත්ත්වයට එන්න හැකි වුණා.

මේ රෝහල තුළ ඉහළම ශල්‍යකර්ම සිදු කරනවා ද?
ඉහළම ශල්‍යකර්ම මේකේ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඉහච්ි වගේ ශල්‍යකර්ම සිද්ධ කරන්නේ නැහැ. එයට හේතුව තමයි ඒ සඳහා වන වෛද්‍යවරුන් රත්නපුරයේ නැතිකම. ඉදිරියේ දී ඒවැනි දේවල් රජයේ රෝහලේ පටන්ගත් විට විශේෂඥ වෛද්‍යවරු පැමිණි විට පෞද්ගලික රෝහල්වලත් පටන්ගන්න පුලුවන්.

එතකොට ඔබ කියලා තියෙන්නේ හැමතිස්සෙම රෝගීන්ගේ ජීවිත වටිනාකම මූලික කොටගෙන මේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න කියලා ද?
ඔව්, මම හැමතිස්සෙම කියන්නේ, මේ රෝගීන් අසරණයි. මේ මිනිස්සු අසරණයි. ඒ මිනිසුන්ට අම්මා කෙනෙක් වෙන්න. තාත්තා කෙනෙක් වෙන්න. මේ කාරණා තමයි අපට අපේ ව්‍යාපාරය ගොඩනඟන්න තියෙන එකම ශක්තිය. එයාලා පිට තැනකට යන්නේ නැහැ අපි සළකනවා නම්. අපට මුලින්ම සලකන්නේ අපේ දෙමව්පියෝ. ඊළඟට පාසලේ ගුරුවරයා. ඊළඟට රෝහලට ගියාම හෙද නිලධාරීන්. මේ ආකාරයට රෝගියෙකුට පිහිට වෙන්නේ රෝහලේ ඉන්න හෙද හෙදියන් සහ වෛද්‍යවරුන්. මේ අය හොඳින් සැලකුවාම ඒක කවදාවත් රෝගීන්ට අමතක වෙන්නේ නැහැ. ඒ අයට මොනවා හරි අසනීපයක් හැදුනාම අපි මේ තැනට යමු කියලා ඊළඟටත් මෙතනට තමයි එන්නේ. මේ වගේ සංස්කෘතියක් අප හදාගත්තොත් නිකම්ම අපේ පාරිභෝගිකයන් අප වෙත යොමු වෙනවා. හොඳ දේ කළොත් කවදාවත් වරදින්නේ නැහැ.

මෙම රෝගීන් පාරිභෝගිකයන් විදියට සළකන්නේ නැද්ද?
නැහැ. අප රෝගීන් පාරිභෝගිකයන් විදිහට සළකන්නේ නැහැ. ඔවුන් අසරණ වෙලා ඇවිල්ලා ඉන්නේ. අප ඒ අයට උදව් කරන්න ඕනේ. අපට කවුරුත් එකයි. අප ළඟට සල්ලි නැති දුප්පත් මනුස්සයත් එනවා. ඉහළ පෝසත් මනුස්සයත් අප ළඟට එනවා. මේ සේරගෙන්ම අප අය කරන්නේ එකම ගාණක්. සේවක මණ්ඩලයටත් අප කියලා තියෙන්නේ මේ එන සෑම කෙනෙකුටම එකම විදියට සලකන්න කියලා. ඉතින් මේ විදිහට හැම කෙනෙකුටම අප සාධාරණව තමයි සලකන්නේ.

රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට කොහොම ද ඔබ තහවුරු කරන්නේ, මෙම රෝහල රෝගීන් වෙත ගුණාත්මක සේවාවක් ලබාදෙන ස්ථානයක් කියලා?
ඔව්, අප ළඟට එන රෝගීන්ට අප සලකන ආකාරයට රෝගය සුව අතට පත් වෙනකොට එයාලා තේරුම්ගන්නවා අප එයාලට ලබාදෙන්නේ ගුණාත්මක සේවාවක් කියලා. රෝගියෙකු මේ රෝහලේ නතර වුණොත් එයාට ඇතුළත් වූ වෙලාවේ සිට සුවපත් වී රෝහලෙන් පිටත්ව යන තෙක්ම සහ නිවසට ගිය පසුත් අප කතා කරලා අහනවා. සැප දුක් සොයා බලනවා.

ඒ වෙනුවෙන් නිළධාරීයෙකු පත්කර තිබෙනවා ද?
ඔව්. ඒ සඳහා වෙනම කෙනෙක් පත් කරලා ඉන්නවා. එයාලා නිතරම ඒ වගේ රෝගීන්ගේ තොරතුරු විමසා බලා අපේ මොනවා හරි අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න සහයෝගය ලබාදෙනවා. අදහස් සහ යෝජනා ලබාදෙන්න වෙනමම ස්ථානයක් ස්ථාපිත කරලයි තියෙන්නේ. මේවා සඳහා ලැබෙන තොරතුරු අප නිතරම සාකච්ඡාවල දී සාකච්ඡාවට බඳුන් කරනවා. අප මේ මොනව කිව්වත් අපේ සේවක මණ්ඩලයට නිතරම උපදෙස් දෙනවා රෝගීන්ට සලකන ආකාරය ගැන. මොකද ඔවුන් තමයි අපේ වටිනාම වස්තුව.

මෙහෙදි හෙදි පුහුණුව හා කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුහුණුව ලබාදෙනවා ද?
ඔව්. අප හැකි සෑම විටෙකම ඒ අයට පුහුණුව ලබාදෙනවා. පුළුවන් තරම් මේ රෝගීන්ට කාරුණිකව සහයෝගය ලබාදෙන්න සහ මේ කාරණා නිසාම එම මිනිස්සු සුවපත්භාවයට පත්වෙනවා. කරුණාවෙන් කතා කරන්න, කරුණාවෙන් සලකන්න, අපේ කාර්ය මණ්ඩලය පැත්තෙන් මේ දේවල් දියුණු කරලා තියාගන්න ඕන.

ඒවගේ අවස්ථාවක් කොහොම ද කළමනාකරණය කරගන්නේ?
අප මෙතන කරන්නේ සේවාවක්. වෛද්‍යවරයා බෙහෙත නිර්දේශ කළාම ඒ අදාළ බෙහෙත අප දෙනවා. වෛද්‍යවරයා කිව්වොත් මෙයාව රෝහලට ඇතුළත් කරන්න කියලා, අප එයාව නවත්තගන්නවා. වෛද්‍යවරයා කිව්වොත් එන්නතක් දෙන්න කියලා, අපේ අය ඇවිල්ලා දෙනවා.

ඔබ කොහොම ද සෞඛ්‍ය තාක්ෂණය මේ අයුරින් වැඩි දියුණු කළේ?
මෙතන කළමනාකාරිත්වයක් තියෙනවා. මම සභාපති විදියට, අධ්‍යක්ෂක මණ්ඩලය සහ විධායක අධ්‍යක්‍ෂකවරු, කළමනාකරුවන්, රෝහල සඳහා සෑම අංශයකටම කළමනාකරුවෙකු ඉන්නවා. මෙම කළමනාකරුවන් හරහා තමයි මේ දේවල් සියල්ලම සිද්ධ වෙන්නේ. ඒ ඒ ක්‍ෂේත්‍රවලට නිපුණත්වයක්, දක්ෂතාවයක් ඇති කළමනාකරුවන් යොදාගෙන තමයි මේ දේවල් සාර්ථකව කරගෙන යන්නේ.

අනෙකුත් රෝහල් සමඟ සසඳන විට මේ රෝහල කොහොම ද? කවර තත්ත්වයක ද තියෙන්නේ?
රත්නපුර ප්‍රදේශය ගත්තොත් අපේ රෝහල ඉතාමත් ඉහළ තත්ත්වයක තියෙනවා. නිතරම අප අපේ ගුණාත්මකභාවය තමයි වැඩි කරන්නේ. ගුණාත්මකභාවය අඩු කළ විට අපට අපේ ව්‍යාපාරය දියුණු කරගන්න අමාරුයි. අප ප්‍රධාන වශයෙන් අපේ ගුණාත්මක බව වැඩි කරලා තියෙන්නේ අප දෙන සේවාවෙන්. අප රෝගීන්ට ලබාදෙන්නේ ඉහළම ගුණාත්මකභාවයක් ඇති ඖෂධ, පරීක්ෂණ යන්ත්‍ර. ඉහල සේවාවක් අප ලබාදෙනවා. ඒ වගේම හොඳ ගුණාත්මක පරිසරයක්, පිරිසුදු පරිසරයක්, පිරිසිදු වැසිකිළි කැසිකිළි පහසුකම් ලබාදෙනවා. නිතරම වැසිකිලි පිරිසිදු කරනවා. කාමර සඳහා වෙනම පරික්ෂා කිරීමේ නිලධාරීන් යොදවා තිබෙනවා.

ඒ කියන්නේ මේ රෝහලේ සෑම ක්‍ෂේත්‍රයකටම තත්ත්ව සහතිකයක් ලබාදිය හැකි ආකාරයට සංවිධානය කරලා තියෙනවා?
ඔව්, ඒ ආකාරයට අප මෙහි ගුණාත්මකභාවය ඉහළ නංවා තියෙනවා.

ඔබට කියන්න පුළුවන්ද දැන් රෝහල් කාර්ය මණ්ඩලයේ නිවැරදි කණ්ඩායමක් සිටින බව?
දැනට අප ළඟ හොඳ නිවැරදි කණ්ඩායමක් ඉන්නවා. අප පුළුවන් තරම් මෙය නිවැරදිව පවත්වාගන්න උත්සහ කරනවා. මේ විදියට නිවැරදිව මිනිස්සුත් එක්ක අපේ රෝහලේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්න තමයි අප නිතරම උත්සාහ කරන්නේ. ඉතින් වැඩිපුර ගෙවලා හරි අපේ නිවැරදි මිනිස්සු මෙහි තියාගෙන ඉන්නවා.

කාර්ය මණ්ඩලය ගැන සම්පූර්ණ විශ්වාසයක් තියෙනව ද?
ඔව්, සම්පූර්ණ විශ්වාසයක් තියෙනවා. වැරදි අය හිටියොත් එයාලගේ සුළු අඩුපාඩුකම් පරික්ෂා කරලා එයාලට නිතරම අදාළ පුහුණුවීම් ලබාදීලා ඒ අයව මේකෙ රඳවගන්න තමයි අප සෑම විටම උත්සාහ කරන්නේ.

ඔබතුමාගේ කෙටිකාලීන සහ දිගුකාලීන අරමුණු මොනවා ද?
මෙම ක්‍ෂේත්‍රය සම්බන්ධව දිගුකාලීන අරමුණු ගත්තොත්, ලංකාව පුරාම අපගේ මේ රසායනාගාර සේවාව පවත්වාගෙන යනවා. මෙම කටයුත්ත දියුණු කරන්න තමයි අප ගොඩක්ම අවධානය යොමු කරලා තියෙන්නේ. මේ වනවිට ලංකාව පුරා රසායනාගාර 11ක් සහ ඒවාට අනුබද්ධිත සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථාන 40ක් පමණ ස්ථාපිත කරලා තියෙනවා. මේ ආකාරයට රසායනාගාර පහසුකම් පුළුල් කරගෙන යනවා. ඒක තමයි අප ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ.

රසායනාගාර පරීක්ෂණවලට අදාල අයකිරීම් කොහොම ද?
වෙනත් ආයතනවලට සාපේක්ෂව ටිකක් අඩුවෙන් තමයි අයකිරීම් සිදු කරන්නේ. අප හැමවිටම උත්සහ කරන්නේ අපේ ගුණාත්මකභාවය ඉහළ මට්ටමක තියාගෙන අයකිරීම් අඩු මට්ටමක පවත්වාගෙනයන්න.

වර්තමානයේ පෞද්ගලික රෝහල් ගාස්තු පිළිබඳව ඔබේ අදහස කුමක් ද?
එක් එක් ආයතනවල විවිධ ගාස්තු තියෙනවා. එම ගාස්තුව නිසා තමයි මෙතැන තරගයක් ඇතිවෙලා තියෙන්නේ. මෙම ගාස්තු අතුරින් නිදහස් සාධාරණ ගාස්තුවක් තිබුණොත් මිනිසුන්ට තෝරාගන්න පුළුවන්.

ගාස්තු වැඩියි කියලා හිතෙනව ද?
අපට එහෙම කියන්න බැහැ. පෞද්ගලික රෝහල් වැඩිවෙන්න වැඩිවෙන්න තරගය වැඩි වෙනවා. එහෙම වුනාම රෝගීන්ගෙන් අයකරන ගාස්තු අඩු වෙනවා. මේක ඇත්තටම රෝගීන්ට හොඳ දෙයක්. නමුත් රෝහල් වැඩිවන තරමටම ඊට සාපේක්ෂව වෛද්‍යවරුන් ද වැඩි විය යුතුයි. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. වෛද්‍යවරු සංඛ්‍යාව ඉහළ දැමීම තුළින් රෝගීන්ට අවශ්‍ය වෛද්‍යවරයෙක් තෝරගන්න පුළුවන්.

පෞද්ගලික රෝහල් නියාමනය රජයෙන් සිදු කරනවා. එය සාර්ථක ද?
එය සාර්ථකයි. රජය විසින් වාර්ෂිකව මෙම පෞද්ගලික රෝහල් නියාමනය සිදු කරනු ලබනවා. අප වාර්ෂිකව රජයෙන් මේ සඳහා අනුමැතිය ලබාගත යුතුයි. පහසුකම් පිළිබඳව සහ ගුණාත්මකභාවය පිළිබඳව නියාමනයක් සිදු කරන නමුත් ගාස්තු සම්බන්ධව නියාමනයක් සිදුවන්නේ නැහැ.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳව ඔබ දැනුවත් ද?
සෑමවිටම අපගේ කාර්ය මණ්ඩලය අන්තර්ජාලය හරහා මෙම රෝහල් සඳහා වන නව ප්‍රවණතාවන්, දැනට භාවිත වන තාක්ෂණයන් මොනවාද, ලංකාවට දැනට අපට ගේන්න පුළුවන් තාක්ෂණය එනම් කුමන ආකාරයේ තාක්ෂණයක් ද ලංකාවේ දැනට භාවිතා කළ හැකිවන්නේ යනාදී ලෙස වැඩි වශයෙන් මේ දේවල් අප නිතරම සොයා බලනවා. සාමාන්‍යයෙන් මම අපේ කළමනාකරුවන් වසරකට සැරයක් වෙනත් රටවලට යවලා අදාළ ක්‍ෂේත්‍රයන් පිළිබඳ දැනුම ලබාගන්න යොමු කරවනවා.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය ක්‍ෂේත්‍රයේ අනාගතය ගැන ඔබතුමා මොකක්ද හිතන්නේ?
මම හිතන්නේ තව ඉදිරියට තවත් දියුණුවෙයි කියලා. හොඳ රෝහල් ඇතිවෙයි. දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කරයි. නවීන යන්ත්‍රෝපකරණ ලංකාවට පැමිණෙයි. මේ කාරණා නිසා අනාගතයේ දී වෛද්‍ය විද්‍යාව පමණක් නොව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයම ඉතා විශාල වශයෙන් දියුණුවට පත්වෙයි.

රටට විදේශ විනිමය උපයාගැනීමට මෙය කොහොම ද යොදාගත හැක්කේ?
ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දියුණු වුණොත් ආසන්න රටවල් ලංකාව කරා යොමු වෙනවා. උදාහරණයක් ලෙස, වෙනත් රටක බයිපාස් එකක් කරනවා නම් ඉතාමත් වැඩි මුදලක් ගෙවන්න වෙනවා. ලංකාවේ ඒ සඳහා ගාස්තු ඉතාමත් අවමයි. ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය ඉතා දියුණු නම් අදාළ රටේ රෝගියා ලංකාවට පැමිණ ඒ අදාල සැත්කම කරගෙන පිටවෙලා යනවා. අනෙක් කාරණාව තමා අධ්‍යාපනය. අධ්‍යාපනය ලබන්න බොහෝ පිරිසක් විදෙස් ගතවෙනවා. නමුත් ලංකාව තුළ අධ්‍යාපන ක්‍රමය නිවැරදිව සකස් කළොත් විදේශ රටවලින් මෙරටට ශිෂ්‍යයන් ගෙන්වාගෙන එය හරහා විදේශ විනිමය ලබාගැනීමේ හැකියාව පවතිනවා.

පසුගිය කොරෝනා සමයේ අත්දැකීම් කොහොම ද?
අප බලාපොරොත්තු නොවූ විදියට තමයි මෙම වසංගතය පැමිණියේ. අපේ කර්මාන්තය පැත්තෙන්, වෛද්‍ය විද්‍යාව පැත්තෙන්, ව්‍යාපාර පැත්තෙන් ගත්තත් මිනිසුන්ට එළියටවත් යන්න බැරි වුණා. අප සති දෙකක පමණ කාලයක් රෝහල වහලා තිබුණා. නමුත් අප පුළුවන් තරම් උත්සාහ කළා රෝහල පවත්වාගෙනයන්න. ඒත් අප සේවකයන්ට ඔවුන්ගේ වැටුප් ලබාදුන්නා. පොඩි ප්‍රමාණයකින් වැටුප් අඩු කිරීමක් කිරීමට සිදුවුණා. එම කොවිඩ් කාලය තුළ වෛද්‍යවරුන්ට, රෝගීන්ට සහ සේවක මණ්ඩලයට උපරිම ආරක්ෂාවක් ලබා දී අපේ කටයුතු ඉතාමත් ආරක්ෂාකාරීව පවත්වාගෙන ගියා.

හෙදියන් පුහුණු කිරීම සඳහා ස්ථානයක් තියෙනව ද?
ඔව්. මුලින්ම ඔවුන් බඳවාගැනීමේ දී, වසරක පුහුණුවක් ලබාගෙන එන අය තමයි අප බඳවගන්නේ. ඉන්පස්සේ ඔවුන්ට පුහුණුව දිගටම ලබාදෙනවා. අවුරුදු හයක් හතක් වගේ කාලයක් යනකොට ඔවුන් අත්දැකීම් පරිපූර්ණ හෙද නිලධාරීන් බවට පත්වෙනවා.

Related posts
පුවත්සංවාද

TVP-Lanka soy

Gynaecomastia යනු නව යොවුන් වියේ පිරිමි…
Read more
මානසික රෝගරෝගසංවාද

ප‍්‍රජනක පද්ධතියට සම්බන්ධ TVP හි පොදු මිථ්‍යාවන්

TVP යනු කුමක්ද? සෝයා යනු සෝයා බෝංචි…
Read more
සංවාද

ඔබේ ආහාර වේල සදහා ප්‍රමාණවත් ප්‍රෝටීන් ප්‍රමාණයක් එකතු කරගන්නේ ද?

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශිරානි රණසිංහ &#8211…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.