කායික රෝග

ඇදුම (Asthma) කියන්නේ බය වෙන්න ඕන ලෙඩක්ද?

වෛද්‍ය සචිත් හර්ෂණ බණ්ඩාර
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී
ළමා රෝග අංශය
මහ රෝහල – බදුල්ල

දෙමාපියන්ට මේ ලෝකයේ තියන වටිනාම වස්තුව දරුවන්ය. දරුවන් නීරෝගීව සිටිනු දැකීම ඕනෑම මවකගේ පියකුගේ ප්‍රාර්ථනයයි.
එය එසේ වුවත් ඉඳහිට දරුවන් විවිධ රෝගාබාධවලට ලක්වන අවස්ථා ඇත.
එසේ දරුවන් ගොදුරු වන රෝගයක් වන ඇදුම (Asthma) යන රෝගය ගැන ඔබ සමග සාකච්ඡා කිරීමට අද දින බලාපොරොත්තු වෙමි.

ඇදුම රෝගය යනු කුමක් ද?
මුලින්ම සදහන් කළ යුත්තේ මෙය බෝ නොවන කාණ්ඩයට අයිති රෝගයක් බවයි.
ඔබගේ දරුවාගේ ශ්වසන මාර්ගයේ ඇතිවන ආසාත්මිකතාවක් හා අධි ප්‍රතික්‍රියාවක් (Hyper-responsiveness) තුළින් ශ්වසන මාර්ගයේ සංකෝචනය, ඉදිමුම හා අධික ලෙස ශ්ලේශමල ශ්‍රාවය නිසා දරුවාගේ හුස්මගැනීමට අපහසු වීම ඔබට බාහිරින් ඇදුම/හතිය රෝගය ලෙස පිලිබිඹු වේ.

මේ රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන්නේ

  1. කැස්ස
  2. හතිය
  3. හුස්ම ගැනීමේ වේගය වැඩිවීම
  4. දරූවාගේ ක්‍රියාකාරිත්වය අඩුවීම

ඇදුම රෝගයට හේතුව කුමක් ද?
මා මුලින් සදහන් කළ පරිදි මේ රෝගය දරුවාගේ ශ්වසන මාර්ගයේ අසාත්මිකතාව නිසාම ඇතිවන්නකි.
ඒ අනුව මේ රෝගය දරුවාගේ නිදන්ගත (Chronic) රෝගයක් වන අතර ශ්වසන මාර්ගයේ ආසාත්මිකතාවට හේතුවන පාරිසරික සාධක මේ නිදන්ගත රෝගයේ ලක්ෂණ මතු කිරීමට හේතු වේ

  1. දූවිලි
  2. සිසිල් කාලගුණය
  3. දුම (සිගරට්, මුලු‍තැන්ගේ දුම, වාහන දුම)
  4. සිසිල් කෑම බීම
  5. සමහර ආහාර වර්ග

ඇදුම රෝගය පාලනය කරගන්නේ කෙසේ ද?
පිලිතුර ඉතාම සරලයි. රෝගය උත්සන්න කරන පාරිසරික සාධකවලට දරූවා නිරාවරණය වීම අවම කිරීම. ඖෂධ නොමැතිව වුවත් මේ තුළින් 50%ක් පමණ හෝ ඊටත් වඩා රෝගය පාලනය කළ හැක.
ඖෂධ – මෙහිදි ඖෂධ ගැන වැඩි යමක් සදහන් කිරීමට සිදුවේ.
බහුතරයක් දෙනා දන්නා ඖෂධ වන්නේ inhalers හරහා ලබාදෙන ඖෂධයි. බහුලවම salbutamol/iparavent අයත් කාණ්ඩයේ හා (නිල් පාට inhaler) හා steroid කාණ්ඩයට අයත් (දුඹුරු පාට inhaler) යන දෙවර්ගය භාවිතා කරයි.
දෙමාපියන් දැනගතු වැදගත්ම දේ වන්නේ දුඹුරු පාට/steroid කාණ්ඩයේ ඉන්හේලරය අනිවාර්යයෙන් දිනපතා රෝගය තිබුණත් නැතත් වෛද්‍යවරුන් නියම කරන කාලයක් දක්වා භාවිතා කළ යුතු බවයි.
නිල්පාට හෝ ඊට අදාල කාණ්ඩයේ ඉන්හේලරය රෝග තත්ත්වය අනුව දිය යුතු ආකාරය වෛද්‍යවරුන් නියම කරනු ඇත. ඒ අතරතුර දරුවාට ඇදුම රෝගය උත්සන්න වන දිනවල එම ඉන්හේලරය නියම කළ ප්‍රමාණවලින් ලබාදෙන්නේ නම් රෝහල්ගත වීම දක්වා රෝගය උත්සන්න වීම පාලනය කරගත හැක.
මීට අමතරව මිශ්‍ර කාණ්ඩයේ ඉන්හේලර වර්ග ද වෛද්‍යවරුන් භාවිතා කරයි.
තවද කුඩා දරුවන් සඳහා spacer device එකක් හරහා ඉන්හේලර ලබාදීම සිදු කරයි. ඒ වඩාත් හොද ඖෂධ මාත්‍රාවක් දරුවාට ලබාදීමේ අදහසිනි.
ඔබේ දරුවාට ඉන්හේලර හෝ space device නියම කරන සෑම අවස්තාවකදීම ඒවා භාවිතා කරන ආකාරය, පිරිසිදු කරන ආකාරය, ගබඩා කරන ආකාරය හා රෝග ලක්ෂණ මතුවන අවස්ථාවක දී අතිරේක මාත්‍රාවන් ලබාදෙන ආකාරය වෛද්‍යවරුන්ගෙන් අනිවාර්යයෙන් අසා දැනගත යුතුය.
මන්ද, කොතරම් ඖෂධ නිර්දේශ කළද සමහර දෙමාපියන් ඖෂධ ඉන්හේලරය මගින් ලබාදෙන ආකාරය නොදැනීම නිසා (inhaler techniques) රෝගය සුව නොවන අවස්ථා අප දැක ඇත.

සරල උපදෙස් කිහිපයක් ලෙස

  1. ඉන්හේලර භාවිතයට පෙර හොඳින් සෙලවීම
  2. කල් ඉකුත්වන දිනය පරීක්ෂා කිරීම.
  3. දරුවා වාඩිකර space device ය සිරුරට ලම්බකව හා පොලවට සමාන්තරව තබා ඖෂධ ඒ හරහා ලබාදීම.
  4. අවම වශෙයෙන් හුස්ම 10ක් වත් දරුවාට එක් මාත්‍රාවක් ලබාදීම.
  5. spacer device නියම කාලයෙන් පිරිසිදු කිරීම හා පරණ වන විට මාරු කිරීම.
    ආදිය සදහන් කළ හැක.
    මීට අමතර පෙති වර්ග හරහා ද ඇදුම රෝගය සඳහා ඖෂධ ලබාදේ. දරුවාගේ රෝගයේ බරපතළ කම මත වෛද්‍යවරුන් එය තීරණය කරනු ඇත.

අපේ දරුවාට ඇදුම තියනවා, එයාට ඉන්හේලර් එකකුත් දීලා තියෙන්නේ. අපේ දරුවාට අනික් දරුවන් වගේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුලු‍වන්ද?
සරලම උත්තරය – ”‍ඔව්”‍
මාගේ අත්දැකීම් අනුව බහුතරයක් (90%) පමණ ඇදුම රෝගය ගැන අනියත බියකින් පසුවේ. දන්නා කියන අයකුට තමාගේ දරුවාට එවැනි රෝගයක් තියෙන බව පැවසීමට ද මැලි වේ. (Stigmata)
දරුවන් බහුතරය එදිනෙදා සාමාන්‍ය ජීවිතයෙන් ඈත්කර නිවෙස් තුළම තබාගෙන සිටී.
ඔව් ඇත්ත. ඇදුම රෝගය පාලනයට 50% පමණ පාරිසරික සාධකවලින් ඈත්කර තැබීම සුදුසු බව ඉහත සදහන් කරන ලදි.
එනමුත් ඇදුම රෝගය යනු සාමාන්‍ය දරුවකු එදිනෙදා ජීවිතයෙන් ඈත්කර තැබීමට කිසිසේත් හේතුවක් නොවේ.
දරුවාට නියමාකාරයෙන් බෙහෙත් ලබාදෙන්නේ නම් ඔහුටත් අනික් දරුවන් මෙන් ක්‍රිඩා කිරීමට ඉඩ දෙන්න. කිසිවිටෙක අධ්‍යාපන කටයුතුවලට මේ රෝගය බාධාවක් කරනොගන්න.
ඔබගේ දරුවා ඇදුම රෝගයෙන් පසුවේ නම් හා ඉන්හේලර භාවිතා කරයි නම් අනිවාර්යයෙන්ම පන්තිභාර ගුරුතුමිය හා දරුවාගේ මිතුරන් කීප දෙනෙකු ඒ ගැන දැනුවත් කර තැබීම වටී.
එමෙන්ම දරුවාට දිගින් දිගටම හතිය ඉහත පාරිසරික සාධක නොමැති විටත් සෑදේ නම් සමහර විට ඇදුම රෝගය නොවන වෙනත් හතිය ලෙස මතුපිටින් රෝග ලක්ෂණ පෙනෙන රෝගයක් වීමට ඉඩද කලාතුරකින් ඇත.
උදා: හදවත් රෝග, සමහර ළය පිලිකා, ක්‍ෂය රෝගය, GORD – Gastro Oesophageal Reflux Disease
විශේෂයෙන්ම ඇදුම රෝගය පාලනය කිරීමට දෙන උරන බෙහෙත් හා පෙති වර්ග වලිනුත් හතිය පාලනය නොවේ නම් වෛද්‍ය උපදෙස් පැතීම සුදුසු බව යෝජනා කරමි.
නැවතත් අවසානයට කීමට ඇත්තේ ඇදුම යනු බෝ නොවන රෝගයක් බවත්, නිසි ආකාරයෙන් ඖෂධ භාවිතය හා පාරිසරික සාධක පාලනය කිරීම තුළින් ඔබේ දරුවා සාමාන්‍ය දරුවකු ගතකරන ජීවිතය 100%ක්ම එලෙසම ගතකළ හැකි බවයි

ඊළඟ ලිපියෙන් තවන් මෙවැනි රෝගයක් ගැන දැනගමු.

-දුමිඳු ඉෂාර

Related posts
කායික රෝගමානසික රෝගරෝග

සරල පියවර, නිරන්තර පරීක්ෂාවන් මගින් තර්ජනාත්මක දියවැඩියා සංකූලතා වළක්වාගන්න

වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් මහතා…
Read more
කායික රෝග

අධික රුධිර පීඩනය ගැන හරියටම දැනගන්න

කායික රෝග විශේෂඥතුෂාර ද සිල්වානවලෝක…
Read more
කායික රෝග

ශ්වසන රෝග සඳහා භෞතචිකිත්සාව

ආචාර්ය ජාලිය උඩුවැල්ලභෞතචිකිත්සක…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.