Uncategorized

කොරෝනා වෛරසය මැඩලන දරුවන්ගේ ප්‍රතිශක්තිය

ළමාරෝග විශේෂඥ වෛද්‍ය
දීපාල් පෙරේරා
රිජ්වේ ආර්යා ළමා රෝහල
බොරුල්ල

කෝටි සංඛ්‍යාත මිනිසුන් ආසාදිතයන් බවට පත්කරමින් හා ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් මරණයට පත්කරමින් ගෝලීය වසංගතයක් ලෙස පැතිරයන කොරෝනා රෝගයට තවමත් ප්‍රතිකාරයක් නොමැත. ඇත්තේ රෝගකාරක වෛරසයෙන් ආරක්ෂා වී සිටීම පමණකි. කෙසේ නමුත් මෙම රෝගයෙන් බොහෝ දෙනෙකු ආසාදනයට පත්කළද බොහෝ විට අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේ ශරීරයේ ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන්ය. වයස්ගත වූවන්, නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන්නවුන්, ගර්භනී කාන්තාවන් හා කුඩා දරුවන් ආදියයි.
ලෝකය පුරා වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් ද කොරෝනා වෛරසයට ගොදුරු වූ බව අපි දනිමු. ඇතැම් දරුවන් සුවපත් වුවත් ඇතමෙකු මියගියේය. බටහිර රටවල කොරෝනා වෛරසය දරුවන්ට දැඩි බලපෑමක් එල්ල කළේය. හුස්ම ගැනීමට අපහසුව දරුවන් දැඩිලෙස පීඩා වින්දේය. එසේ පීඩා විඳි දරුවන්ගෙන් ඇතමෙකුගේ ජීවිතය බේරුණි.
එහෙත් අප රටේ දරුවන්ට කොරෝනා වෛරසය එවැනි බලපෑමක් එල්ල කරන බවක් නොපෙන්වයි. කොරෝනා වෛරසයේ වෙනසක් සිදුව තිබෙන්නේ ද එසේ නැතිනම් බටහිර රටවල ක්‍රියාත්මක වූ වෛරසයට වඩා ප්‍රබලත්වයෙන් අඩු වෛරසයක් අප රට තුළ පැතිර යන්නේ ද පිළිබඳව අපි තවමත් නොදනිමු.
ඒ කෙසේ වෙතත් දරුවන්ගේ ශරීරය තුළ ගොඩනැගී ඇති ප්‍රතිශක්තිය මෙයට හේතුවක් වන්නට ඇතැයි විශේෂඥයන්ගේ විශ්වාසය වන්නේය. දරුවකු ඉපදුණු පසුව ලබාදෙන මුල්ම එන්නත වන බීසීජී එන්නත මගින් වසංගත රෝගයන්ට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනගන්නේය. ඉන් අනතුරුව දරුවාට අවුරුදු 5 සම්පූර්ණ වන තෙක්ම අනිවාර්යයෙන්ම ලබාදියයුතු එන්නත් මාලාවෙන් ‌වසංගත රෝග ගණනාවකින් දරුවාට රැකවරණය ලැබෙන්නේය.
එපමණක් නොව දරුවා ඉපදී මාස හයක් ගතවන තෙක්ම මව්කිරි පමණක් ලබාදීම මගින් දරුවාගේ ජීවිත කාලය පුරාවටම ලැබෙන ප්‍රතිශක්තිය අන් කිසිවකින් ලබාගත නොහැකිය. වසංගත රෝගයන්ගෙන් පමණක් නොව බෝනොවන රෝගයන්ගෙන් ද ආරක්ෂා වීමට මව්කිරි මගින් සිරුරේ ඇතිකරන ප්‍රතිශක්තිය සුලු‍පටු නොවේ. දරුවා ලැබුණු පසුව මවකට එරෙන මුල්ම කිරි රන්කිරි යනුවෙන් හඳුන්වන කොලෙස්ට්‍රම් දියවැඩියාව, හෘදයාබාධ, අංශභාගය වැළැක්වීම පමණක් නොව දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කිරීමට පවා හේතුවන්නේය.
එපමණක් නොව වස විසෙන් තොර ආහාරයන් දරුවන්ට ලබාදීම බොහෝ මව්වරුන්ගේ සිරිතය. හොඳම දේ දරුවන්ටය. දරුවන්ට හොඳම දේ තොරද්දී වසවිසෙන් තොර පෝෂණයෙන් ඉහළ දේ සෙවීම අපේ මව්වරුන්ගේ පුරුද්දය. එම පුරුද්ද හා කැපවීම දරුවන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට හේතුවක් වන්නේය‍. මව්වරුන්ගේ මේ කැපවීම හේතුවෙන් අනාගතයේ දී තමන්ගේ දරුවා වැඩිහිටියකුව සිටිය ද බෝනොවන රෝගයන්ගෙන් ආරක්ෂාව සැලසෙන්නේය.
එසේම ඉන්ෆ්ලු‍වන්සා, ඩෙංගු, සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛරස් රෝගයන්ට අපේ දරුවන් නිරන්තරයෙන්ම ගොදුරුව ඇති බැවින් එම වෛරසයන්ට විරුද්ධව ශරීරය තුළ ගොඩනගා ඇති ප්‍රතිශක්තිය කොරෝනා වෛසරය මර්දනයට හේතුවක් වන බව ද අදවන විට කරන ලද පර්යේෂණයන්ගෙන් සොයාගෙන ඇත්තේය.
මෙවැනි ධනාත්මක සාධකයන් අපේ දරුවන් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කිරීමට හේතුවක් වී ඇත්තේය.
තව ද යහපත් සෞඛ්‍ය පුරුදු හැමවිටම වැඩිහිටියන් පිලිපදින්නාක් මෙන්ම තම දරුවන්ට ද ඒවා කියාදීම තුළ වෛරසය දරුවන් කරා පැමිණිය ද අප අනුගමනය කරන යහපත් සෞඛ්‍ය පුරුදු හමුවේ වෛරසයන් විනාශයට පත්වන්නේය. විශේෂයෙන් වෛසරය විනාශ කිරීමට ඇති හොඳම හා ලෙහෙසිම ක්‍රමය වන්නේ හොඳින් සබන් ගා දෑත් පිරිසිදු කිරීමය. දරුවන් වතුර ඇල්ලීමට දැඩි ලෙස ආසා කරන්නවුන්ය. ඔවුන්ට දැන් වතුර පමණක් නොව සබන් ද සපයන්නට වැඩිහිටියන්ට සිදුව ඇත්තේය. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් ඔවුහු සබන් ගා නිතරම දෑත් සේදීමට පුරුදු වී සිටිති. මෙය දරුවන්ට ආශ්වාදය ගෙනදෙන අත්දැකීමක් වුවද එය මාරාන්තික වෛරසයෙන් ඔවුන්ගේ ජීවිත රැකදෙන්නකි. දරුවන්ට ඒ බව හරිහැටි වැටහීමක් නොවුව ද දෙමාපියන්ගේ ද විරුද්ධත්වයක් පැනනොනගින බැවින් ඔවුහු තම දෑත් නිතර නිතර පිරිසිදු කරගනිති.
තව ද කොරෝනා වෛසරය පැතිර යන කාලවකවානුවේ දරුවන් දෙමාපිය රැකවරණය මැද නිවෙස්වලින් බැහැරට නොයා ගතකරන කාලය දරුවන් වෛරසයන්ගෙන් ආරක්ෂා වීමට ලැබෙන හොඳම කාලය ලෙස හැඳින්වේ.

-ශ්‍රියානි විජේසිංහ

Related posts
Uncategorized

පුංචි පැටියා වෙනුවෙන් භාවිතා කරන ආලේපන ගැන ඔබ දැනුවත් ද?

ළමා හා මාතෘ සෞඛ්‍ය උපදේශිකාbabycenter ලෝක…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.