කායික රෝග

අධික රුධිර පීඩනය ගැන හරියටම දැනගන්න

කායික රෝග විශේෂඥ
තුෂාර ද සිල්වා
නවලෝක පෞද්ගලික රෝහල

ඉතා භයානක රෝගී තත්ත්වයක් වන අධික රුධිර පීඩනය තවත් රෝග ගණනාවකට අත වනන්නකි. බොහෝ දෙනෙකුට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගයක් ලෙස මෙය හඳුන්වාදියහැකි වන අතර රුධිර පීඩනය ඇති බව හදුනාගන්නා විට බොහෝ දෙනෙකුට සංකූලතාවන් වර්ධනය වී අවසන්ය.

රුධිර පීඩනය යනු කුමක් ද?
මිනිස් සිරුරේ අවයවවල නිසි පැවැත්ම සදහා ඔක්සිජන් සහ පෝෂ්‍ය කොටස් අවශ්‍ය වේ. මේ ද්‍රව්‍ය එම අවයව කරා ළඟාවීමට ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කරනුයේ රුධිරයයි. රුධිරයේ දියවී ඇති පෝෂ්‍ය කොටස් සහ ඔක්සිජන් එම අවයවයන් කරා ළඟාවීමට හෘදය මගින් තල්ලු‍වක් ලබාදේ. හදවත මගින් රුධිරයට ඇති කරනු ලබන බලය හෙවත් පීඩනය, රුධිර පීඩනය යනුවෙන් අදහස් කරයි.
මෙම පීඩනය අඩු හෝ වැඩි විය හැකිය. වැඩි වුවහොත් අධික රුධිර පීඩනය යනුවෙන්ද අඩු වුවහොත් අඩු රුධිර පීඩනය යනුවෙන්ද හඳුන්වයි.

අධික රුධිර පීඩනය යනු කුමක් ද?
හෘදය මගින් රුධිරය කරා ඇති කරනු ලබන බලය නිරන්තරයෙන්ම වැඩිවන්නේ නම් එවැනි තත්ත්වයක් අධික රුධිර පීඩනය යනුවෙන් හදුන්වයි.

රුධිරයේ පීඩනය අඩු වැඩි වීමට හේතු කවරේ ද?
මානසික පීඩනය, සංකාව, මත්පැන් දුම්වැටි භාවිතය, වයස්ගත විම,
යම් පුද්ගලයකුගේ රුධිරයේ පීඩනය වයස භේදයකින් තොරව හෝ නොනවත්වා වැඩි මට්ටමකින් පවතින්නේ නම් එය අප අධික රුධිර පීඩනය තත්ත්වයක් යැයි සදහන් කරමු.
යමෙකුගේ රුධිරයේ පීඩනය 120/80 අතර පරාසයක පවතින්නේ නම් එවැනි පුද්ගලයකුගේ රුධිර පිඩනයේ ගැටලු‍වක් නොමැති බව සදහන් කළ හැකිය. එහෙත් එම අගය 130/80 අතර අගය ඉක්මවා පැවතීම අධික රුධිර පීඩනය යනුවෙන් හදුන්වයි. රුධිර පීඩනය පවතින බොහෝ දෙනෙකුට එය ඇතිවීමට නිශ්චිත හේතුවක් බොහෝ විට සොයාගැනීමට නොහැකි වී ඇත. ඒත් සුළු පිරිසකගේ අධික රුධිර පීඩන තත්ත්වය හේතුවක් සොයාගත හැකිය.
ඇතැම් ඖෂධ වර්ග, වකුගඩු ආශ්‍රිත රෝග, හෝමෝන ක්‍රියාකාරිත්වයේ වෙනසක් සිදුවීම වැනි තත්ත්වයන් හේතුවෙන් අධික රුධිර පීඩන තත්ත්වයන් ඇතිවිය හැකිය.
තවද පරම්පාරාවෙන් ඇතිවන අධිරුධිර පීඩනය තිබීම – යම් පුද්ගලයකුගේ මවට හෝ පියාට අධිරුධිර පීඩනය පවතින්නේ නම් එම පුද්ගලයාට ද අධිරුධිර පීඩනය ඇතිවිය හැකිය.
තරබාරුකම – රුධිරනාළ තුළ මේදය වැඩි වශයෙන් තැන්පත් වීමෙන් රුධිර පීඩනය වැඩි විය හැකිය.
වැඩිවශයෙන් ලු‍ණු ආහාරයට එකතු කරගැනීම – රුධිරයේ ලු‍ණු වැඩි වූ විට රුධිරය වැඩිපුර ජලය රදවාගැනිම හේතුවෙන් රුධිරයේ පීඩනය වැඩිවේ.
දුම්පානය – රුධිරයේ පීඩනය වැඩිවීමට දුම්පානය හේතුවක් වේ.
මත්පැන් පානය – දීර්ඝකාලීනව මත්පැන් පානය කිරීම ද රුධිර පීඩනය වැඩිවීමට හේතුවක් වේ.
මානසික අසහනය – මානසික අසහනයෙන් දීර්ඝකාලීනව සිටින පුද්ගලයන්ට අධිරුධිර පීඩනය ඇතිවීමට හේතුවේ.
ව්‍යායාම නොකිරීම – මෙය ද අධිරුධිර පීඩනය ඇතිවීමට හේතුවක් වන අතර ව්‍යායාම කිරීම මගින් අධිරුධිර පීඩනය ඇතිවීමේ අවස්ථාව අවම කරගත හැකිය.

ඔබ අධික රුධිර පීඩනයෙන් පෙලෙන්නෙකු නම්
හිසේ ඇතිවන කරකැවිල්ල, නිතර නිතර හිසරදය, ඇස්වල පෙනීමේ දුර්වලතාවන් ඇතිවීම, වෙහෙස වී වැඩක් කිරීමේ දී පපුවේ ඇතිවන අපහසුතාව.
බොහෝ දෙනෙකු අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව නොදන්නේය. මේ හේතුව නිසාම වයස අවුරුදු 35 ඉක්ම ගිය අය අනිවාර්යයෙන්ම රුධිර පීඩනය මැන බැලීම අනිවාර්ය වන්නේ මේ නිසාය. අධිරුධිර පීඩනය ඇතිවිය හැකි සාධකයන්ට ඔබ නිරාවරණය වී ඇත්නම් ද රුධිර පීඩනය මැන බලාගැනීම සුදුසුය.
එසේම ඉහතින් සදහන් කළ අධිරුධිර පීඩනය නිසි ලෙස පාලනය කර නොගතහොත් රෝගාබාධ රැසකට මුහුණපාන්න සිදුවේ.

අධික රුධිර පීඩනය පාලනය නොකළහොත් ඇතිවන සංකූලතාවන්
හෘදඅකර්මන්‍යතාව, අංශභාගය, අන්ධභාවය, වකුගඩු අක්‍රීය වීම, වැනි සංකූලතාවන්ට මුහුණදීමට සිදුවේ.
සංකූලතා ඇති නොවී රෝගය නිසි ලෙස පාලනය කරගැනීමට නම් වෛද්‍යවරුන් විසින් ලබාදෙන ඖෂධ නිසිලෙස භාවිත කිරීමටත් අධික රුධිර පීඩනය ඇති නොවීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙත් නිසිලෙස පිලිපැදීමටත් වගබලාගැනීම වැදගත් ය.
විශේෂයෙන්ම මෙහිදී සදහන් කළ යුතු කරුණ වන්නේ අධික රුධිර පීඩනය වළක්වාගැනීම සදහා ලබාදෙන ඖෂධයන්ගේ අතුරු ආබාධ තත්ත්වයන්ය. එසේ වුවහොත් වහාම වෛද්‍යවරයා හමුවීම වැදගත්ය.
උදාහරණයක් ලෙස ඇතැම් ඖෂධ මගින් වියළි කැස්ස හට ගන්නා අතරම තවත් ඖෂධයන් හේතුවෙන් දෙපා ඉදිමීම වැනි රෝග ලක්ෂණයන් මතුවිය හැකිය. ඒ සදහා බිය නොවී නොපමාව වෛද්‍යවරයා මුණගැසීම ඉතාමත් වැදගත් ය.‍
අධික රුධිර පීඩනය ඇත්නම් එය පාලනය කරගැනිම සදහා ඖෂධ ප්‍රතිකාර ලබාගන්නා අතරම ආහාර පාලනය, ව්‍යායාම ආදී ජීවනරටාවේ වෙනස්කම් සිදුකරගැනීමෙන් නිරෝගිමත් දිවිපැවැත්මක් ළඟාකරගත හැකිය.

-ශ්‍රීයානි විජේසිංහ

Related posts
කායික රෝගමානසික රෝගරෝග

සරල පියවර, නිරන්තර පරීක්ෂාවන් මගින් තර්ජනාත්මක දියවැඩියා සංකූලතා වළක්වාගන්න

වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් මහතා…
Read more
කායික රෝග

ඇදුම (Asthma) කියන්නේ බය වෙන්න ඕන ලෙඩක්ද?

වෛද්‍ය සචිත් හර්ෂණ බණ්ඩාරජ්‍යෙෂ්ඨ…
Read more
කායික රෝග

ශ්වසන රෝග සඳහා භෞතචිකිත්සාව

ආචාර්ය ජාලිය උඩුවැල්ලභෞතචිකිත්සක…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.