සමාජ රෝග

ඇබ්බැහි විය හැකි ඖෂධ

වෛද්‍ය සෂිනි ජයරත්න
(MBBS, MSc Community Medicine)
පෝෂණ අංශය
සෞඛ්‍ය අමාත්‍යාංශය

අපට වැළඳෙන රෝග සඳහා ඖෂධ ලබාගැනීම අප සියලු‍ දෙනාම අත්විඳ ඇති කරුණකි. වෛද්‍ය උපදෙස් මත නිර්දේශිත ඖෂධ මෙන්ම වෛද්‍ය උපදෙස්වලින් පරිබාහිරව ඖෂධ අලෙවිසල්වලින් “over the counter” ලෙස හඳුන්වන ඖෂධ ලබාගැනීම ඇතැම් විට සිදුවේ.

ඖෂධයකින් ලැබෙන ප්‍රතිපලය, එහි ඇති රෝග නිවාරණ ගුණය සහ එය මගින් ලබාදෙන අතුරු ප්‍රතිඵලවලින් යුක්ත වේ. වෛද්‍යවරයකු යම්කිසි රෝගයකට ඖෂධයක් ලබාදීම නිර්දේශ කරන්නේ එයින් රෝගියාට ලැබෙන ප්‍රතිඵල, එහි අතුරු ඵල, රෝගියාට ඇති අනෙකුත් තත්වයන්, නිර්දේශිත අනෙකුත් ඖෂධ, ඒවායේ අන්තර්ක්‍රියා ආදී කාරකයන් රාශියක් කිරා මැන බැලීමෙන් අනතුරුවයි. ඇතැම් ඖෂධ වර්ග නැවත නැවතත් ලබාගැනීමෙන් drug dependence හෝ addiction හෙවත් ඇබ්බැහිවීමේ තත්වය ඇතිවේ.
“Drug dependence” නැතහොත් ඖෂධ මත යැපීම ලෙස හඳුන්වන්නේ දිගින් දිගටම හෝ වරින් වර ඖෂධයක් ලබාගැනීම නිසා භාවිතා කරන්නාට ඇතිවන ආශාව, අවශ්‍යතාවය හෝ අනිවාර්යයෙන් ලබාගැනීමට ඇතිවන බලකරන හැඟීමයි. අදාළ ඖෂධය නොමැති විට මනසට හා ශරීරයට දැනෙන අයහපත් ප්‍රතිඵල මෙන්ම “tolerance” නැතහොත් එකම ප්‍රතිඵලය ලබාගැනීමට ඖෂධය වඩවඩා ඉහළ මාත්‍රාවලින් ලබාගත යුතු වීම නිසා මේ තත්ත්වය වඩා තීව්‍ර වේ.
“Addiction” හෙවත් ඇබ්බැහිවීම යනු drug dependenceහි ඇති උච්චතම අවස්ථාවයි. මෙහි ඇති ප්‍රධාන ලක්ෂණය වන්නේ එම පුද්ගලයාගේ දෛනික ජීවිතය මේ මත පදනම් වීමයි. Hard drugs හෙවත් දෘඩ මත්ද්‍රව්‍ය ලෙස හඳුන්වන හෙරොයින්, කොකේන් වැනි ද්‍රව්‍ය මෙන්ම soft drugs හෝ මෘදු මත්ද්‍රව්‍ය වන මත්පැන්, ගංජා සහ බහුලව භාවිතා වන ඖෂධ බොහොමයක් මෙම කාණ්ඩයට අයත් වේ. එක් එක් ද්‍රව්‍යයට එක් එක් තැනැත්තා දක්වන ප්‍රතිචාරවලට ඖෂධයේ හෝ මත්ද්‍රව්‍යයේ ගති ලක්ෂණ මෙන්ම පුද්ගලානුබද්ධ තත්ත්වයන් ද පාරිසරික කාරණා ද බලපායි.
ඈත අතීතයේ පටන් මිනිසා විවිධ ඇබ්බැහිකාරක භාවිත කළ බවට පුරාවිද්‍යාත්මක සාධක ඇත. වර්තමානයේ පවතින මත්පැන් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය ද එම අතීත මානවයාගේ හැසිරීම්වල මතට ඇති නැඹුරුවෙහිම ප්‍රතිඵලයක් ලෙස සිතිය හැක. කෙසේ වෙතත්, සමාජීය අවශ්‍යතාවයක් ලෙස, සම වයස්වල අය අතර කැපීපෙනීම, ඒකාකාරී ජීවිතයෙන් මිදීම මෙන්ම කායික හා මානසික වේදනාව දැනීම අඩු කරගැනීම වැනි අරමුණු උදෙසා මත්පැන්, මත්ද්‍රව්‍ය හා විවිධ ඇබ්බැහිකාරි ඖෂධ භාවිතය බොහෝවිට පටන්ගැනීම සිදුවේ. මෙවැනි අවස්ථා “Non-medical use of drugs” ලෙස හඳුන්වයි. වරින්වර හෝ ඉඳහිට භාවිතා කිරීම “Recreational drug use” හෙවත් විනෝදාස්වාදය සඳහා භාවිතා කිරීම ලෙස හඳුන්වන අතර, පසුකාලීනව එක දිගට භාවිතා කිරීමට සිදුවීම drug dependence තත්ත්වයට පත්වීමේ ලක්ෂණයයි. මත්පැන් යනු එලෙස මුලින් විනෝදාස්වාදය පිණිස භාවිත කරන, ඇතැමුන් පසුකාලීනව ඇබ්බැහිවීමට පත්කරවන ද්‍රව්‍යයකි.
කිසියම් රෝගී තත්ත්වයක් සඳහා දීර්ඝ කාලීනව ලබාගන්නා ඖෂධයකට හුරු වීම නිසා එය නැතිව බැරි තත්වයකට පත්වීම drug dependence තත්වයට තුඩුදිය හැක. මෙය බටහිර රටවල සුලභව දක්නට ලැබෙන තත්වයකි. වේදනානාශක ලෙස ලබාදෙන Morphine, Tramadol වැනි “Opioid” කාණ්ඩයට අයත් ඖෂධ මෙන්ම “Benzodiazepine” කාණ්ඩයට අයත් ඖෂධ ප්‍රබල ඇබ්බැහිකාරක වේ. ශ්‍රී ලංකාවේ මෙම ඖෂධ රෝහල්වලින් පිට පහසුවෙන් ලබාගැනීමට නොහැකි බැවින් සහ වෙනත් කරුණු නිසා ඇබ්බැහිවීම සාපේක්ෂව කිසියම් අඩු මට්ටමක පවතියි. කෙසේ වෙතත් පහසුවෙන් ලබාගත හැකි වෙනත් ඖෂධ වර්ග උත්තේජනයක් ලබාගැනීම සඳහා භාවිතා කිරීම මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් මෙන්ම පාසල් දරුවන් අතර ද කලින් කලට ජනප්‍රිය වේ. කලකට පෙර බහුලව භාවිතා වූ, පසු කාලීනව අවභාවිතයට ලක්වීම නිසා භාවිතයෙන් ඉවත් වූ කැස්ස පැණියක් මෙයට හොඳම උදාහරණයකි.
අනෙකුත් ඇබ්බැහිකාරී ද්‍රව්‍ය මෙන්ම අධික ප්‍රමාණවලින් භාවිතා කිරීම නිසා ඖෂධවලට ද Psychological dependence (මානසික ඇබ්බැහි වීම) හා Physical dependence (කායික ඇබ්බැහි වීම) සිදුවිය හැක. කායික රෝගී තත්ත්වයක් වෙනුවෙන් ගන්නා ඖෂධයකට (උදා: වේදනා නාශක) ඔරොත්තුදීම වැඩිවීම සහ එකම ප්‍රතිපලය ලබාගැනීමට එම ඖෂධයේ වඩා වැඩි මාත්‍රාවක් අවශ්‍ය වීම මෙන්ම එය නොගත්විට රෝගී තත්ත්වය වැඩිවේ යැයි ඇතිවන බිය නිසා එය ගැනීම වැඩිවීම විෂම චක්‍රයක් ලෙස ඇබ්බැහිවීම ඇති කරයි. එමෙන්ම මත්පැන් සහ බොහෝ මත්ද්‍රව්‍යවල ඇති පොදු ලක්ෂණයක් වන ඇබ්බැහි වූවන්ට එය නොගෙන හිඳීම නිසා ඇතිවන කායික අපහසුතා (මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර
“සික් එක” යනුවෙන් හැඳින්වෙයි) නිසා ද එයට බියෙන් දිගින් දිගටම ඇබ්බැහිය පවත්වාගැනීම ඖෂධ අවභාවිත කරන්නන් අතර ද දක්නට ලැබේ. මෙය කායික ඇබ්බැහි වීම ලෙස හඳුන්වයි. (Alteration of consciousness) සවිඥානය වෙනස් කරන ඖෂධ මෙන්ම යම් ඖෂධයක් මගින් තමාට යම්කිසි ප්‍රතිලාභයක් ලැබෙන බව අදහා දිගටම ඒ අනුව ඖෂධ ගනිමින් සිටින කෙනෙකුට මානසික ඇබ්බැහි වීම නම් වන තත්ත්වය තිබිය හැක.
නිත්‍යානුකූල හෝ නීති විරෝධී ආකාරයට මත්පැන්, මත්ද්‍රව්‍ය හෝ අනෙකුත් ඖෂධ භාවිතය සඳහා පදනම් වන්නේ භාවිතා කරන ද්‍රව්‍යය, ප්‍රමාණය මෙන්ම එහි ප්‍රතිපල පුද්ගලයාට හා සමාජයට හානිකර ද නොමැති ද යන්න අනුවය. මේ අනුව දුම්වැටියේ සිට ලොකු කුඩා සියලු‍ම මත්ද්‍රව්‍ය හා ඖෂධවලට විවිධ ආකාරයේ වාරණ පැනවීම් සිදුවේ. විනෝදාස්වාදය සඳහා සහ ආතතිය දුරලීම සහ විශාදය සඳහා ඇතැම් මෘදු මත්ද්‍රව්‍ය මධ්‍යම ප්‍රමාණවලින් ගැනීම නීති විරෝධී නොවන නමුත් ඇබ්බැහිවීමට සහ ඉන් ඇතිවන අනෙකුත් පල විපාක ලබාදීමට හේතු වේ. (උදා: දුම්වැටි, මත්පැන්). එහෙත් ආශ්වාදය හෝ උද්දීපනය වෙනුවෙන්ම ඖෂධ හා මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හට ඇති අවදානම සුළුපටු නොවේ.
මත්ද්‍රව්‍ය හා ඖෂධවල සමාජීය බලපෑමට අමතරව ශරීරයට ඇති බලපෑම් නිසා බොහෝ හානි සිදුවිය හැක. ශරීරයේ විවිධ ඉන්ද්‍රියයන්ට මේවායින් ඇතිවන අහිතකර බලපෑම් අතරට අකර්මන්‍යතා, අංශභාගය, අක්මා පිළිකා තත්ත්ව සහ ශ්වසනය අකර්මන්‍ය වී මරණයට පත්වීම දැකිය හැක. ඇබ්බැහිකාරී ඖෂධ සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් අතර දක්නට ඇති බහු මත්ද්‍රව්‍ය සහ ඖෂධ භාවිතය සහ ඒවායේ අන්තර්ක්‍රියා හේතු කොටගෙන ශරීරය තුළ සිදුවන දේ වෙනස් විය හැකි අතර අවසන් ප්‍රතිපලය හොඳ එකක් වන්නේ ඉතා කලාතුරකිනි.
මුල දී විනෝදයක් මෙන්ම තමාගේ එදිනෙදා වැඩවලට බාධාවක් නොවන සහ මනස තියුණු කරන බවක් දැනුනත් බහුතරයකට මත්ද්‍රව්‍ය සහ ඇබ්බැහිකාරී ඖෂධ අවභාවිතය ඇබ්බැහි වීම කරා යාම නිරායාසයෙන් සිදුවේ. එතැන් සිට පහළට ඇදී යන සර්පිලයක් ආකාරයට බහුලව සිදුවන්නේ භාවිතයෙහි වැඩිවීමයි. කලින් කලට තත්ත්වය අඩු වැඩි වුවත් මුලිකව ජීවිතයෙහි පදනම මත්ද්‍රව්‍ය භාවිතය අඩු වැඩි වීම මත රඳා පවතියි. ආශ්‍රයට ලැබෙන අය නිසා ජීවිතයෙහි තමාට හැකි උපරිම ඉලක්ක ළඟා කරගත නොහැකි වේ.
එමනිසා ඔබ හෝ ඔබ දන්නා අයෙකු මෙබඳු ගැටලු‍වකින් පෙළෙයි නම් ළඟම රෝහලේ ඇති මානසික වෛද්‍ය සායනය වෙත යොමු කරන්න. එය ඔබට, එම පුද්ගලයාට සහ මුළු මහත් සමාජයටම ඔබෙන් සිදු විය යුතු යුතුකමයි.

Related posts
සමාජ රෝග

වසර 2025 දී ඒඩ්ස්වලට අපි තිත තබමු

විශේෂඥ වෛද්‍යරසාංජල…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.