කායික රෝග

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව හටගන්නා රෝග පිළිබඳ ඔබ දැනුවත් ද?

වෛද්‍ය K. G. අසංක කමලජීව
ශල්‍ය වෛද්‍ය ඒකකය
දිස්ත්‍රික් මහා රෝහල, මොණරාගල

තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ අප සිරුර තුළ ඇති වැදගත්ම අවයවයක්. ඒ නිසාම තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව පැනනගින ගැටලු‍ තත්ත්වයන් හා ඒවා වළක්වාගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග ගැන දැනුවත් භාවය වටිනවා. ඒ නිසා ඒ ගැන කතා කරන්න හිතුවා.

තයිරොයිඩ් ග්‍රන්ථිය යනු,
අප සිරුරේ පවතින වැදගත් අවයවයකි. එය අපේ ගෙළ ඉදිරිපස ස්වරාලයට ඉදිරියෙන් ඛණ්ඩිකා දෙකකට බෙදී පවතී. එය තයිරොක්සීන් නැමැති මිනිසාට අත්‍යවශ්‍ය හෝමෝනය ස්‍රාවය කරනු ලබයි.
අප සිරුරේ සියලු‍ සෛල වර්ධන ක්‍රියා පාලනය.
පරිවෘත්තීය ක්‍රියා පාලනය.
අස්ථි වර්ධනය.
ගර්භණී මව්වරුන්ගේ කළල වර්ධනය.

වැනි ක්‍රියා රැසක් තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් ස්‍රාවය කරනු ලබන තයිරොක්සින් නමැති හෝමෝනය මගින් පාලනය කරනු ලබයි.

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව හටගන්නා රෝග තත්ත්ව පිළිබඳ ඔබේ දැනුවත් භාවය අනිවාර්යයි.
තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත විවිධ රෝග තත්ත්ව නිසා තයිරොක්සින් හෝමෝනය සිරුරට නිකුත් කිරීම අඩු හෝ වැඩිවීම මගින් සිරුරේ සාමාන්‍ය පරිවෘත්තීය ක්‍රියාවල වෙනස්කම් ඇතිවී සිරුර රෝගී තත්ත්වයට පත්කරවයි.
මෙහි දී ඔබට වැළඳී ඇත්තේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝගයක් දැයි දැනගැනීමට එහිදී ඇතිවන රෝග ලක්ෂණ සම්බන්ධයෙන් ඔබ දැනුවත් වී සිටීම වැදගත්.

තයිරොක්සින් මදවීම නිසා ඇතිවන රෝග ලක්ෂණ
අධික නිදිමත.
මලබද්ධය.
සිරුරෙහි බර අඩු වීම.
කටහඬ ගොරෝසු වීම.
ඔසප් චක්‍රයේ අසාමාන්‍යතා.
හිසකෙස් තුනී වීම.
මල්වර වීම ප්‍රමාද වීම.

තයිරොක්සින් අධික වීම නිසා ඇතිවන රෝග ලක්ෂණ
සිරුර කෙට්ටු වීම.
අධික ආහාර රුචිය.
අධික දහඩිය දැමීම.
හිසකෙස් කැඩීයාම.
හෘද ස්පන්දනය අධිකව දැනීම.
කලබල ගති හා නුරුස්සන ගතිය.
ඔසප් චක්‍ර අක්‍රමවත් භාවය.
අසාමාන්‍ය ලෙස ඇස් ඉදිරියට නෙරා ඒම.

මෙවැනි රෝග ලක්ෂණ ඔබට තිබේ යැයි හැඟු‍නහොත් වහාම වෛද්‍ය උපදෙස් පැතීම නුවණට හුරුයි.

ඔබට ඇති රෝග ලක්ෂණ අනුව රෝගී තත්ත්වය පිළිබඳව පරීක්ෂණ කිහිපයකින් තහවුරු කරගත හැක.
තයිරොයිඩ් ග්‍රන්ථියේ ස්කෑන් පරීක්ෂණයක්.
තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ලබාගත් සෛල පරීක්ෂණයක්. (FNAC – Fine Needle Asjiration Cytology)
රුධිරයේ තයිරොයිඩ් හෝමෝන මට්ටම පරීක්ෂා කිරීම. (TSH, T3 / T4 Level)

මේ පරීක්ෂණ මගින් ඔබගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇති රෝගී තත්ත්වය ඉතා ඉක්මනින් විනිශ්චය කළ හැක.

වඩාත්ම සැලකිය යුතු කරුණ වන්නේ,
මෙවැනි රෝග ලක්ෂණ තිබේ නම් වෛද්‍යවරයෙකු වෙත ගොස් රෝගය පරීක්ෂා කරගැනීමයි.

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව වර්ධනය වන පිළිකා තත්ත්වයන්
අද වනවිට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා තත්ත්ව බොහොමයක් ඉතා ඉක්මනින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ඉක්මණින් සිදුකිරීමට විශේෂඥ වෛද්‍ය කණ්ඩායම්වලට හැකියාව ලැබී ඇත. තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා රෝග තත්ත්ව සඳහා ප්‍රතිකාර ක්‍රම කිහිපයක් පවතී.
මෙහි දී රෝග තත්ත්ව පිළිකාවක් හෝ ඊට ආසන්න තත්ත්වයක් හෝ ඉදිරියේ දී පිළිකා තත්ත්වයකට වර්ධනය විය හැකි අවස්ථාවන් නම් සැත්කමක් මගින් තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පූර්ණයෙන් හෝ එක් අර්ධයක් ඉවත් කිරීම සිදුකරනු ලබයි. එසේ නොමැතිනම් ඖෂධ මගින් ද රෝගී තත්ත්වය පාලනය සිදුකරනු ලබයි. ඔබට සැත්කමක් කළ යුතු යැයි වෛද්‍යවරයා නිර්දේශ කළේ නම් ඒ සඳහා පෙර සූදානම් විය යුතුයි. ඔබගේ වෙනත් රෝග තත්ත්ව ඇත්නම් ඒ සම්බන්ධ වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි. ඔබ රුධිරය තුනී වන ඖෂධ ගන්නේ නම්, එය වෛද්‍ය උපදෙස් පරිදි සැත්කම් දින කිහිපයකට පෙර නැවැත්විය යුතුයි. ඔබ යම් ඖෂධවලට අසාත්මිකතාවයන් දක්වනවා නම් ඒ පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කිරීම වැදගත්. නියමිත දිනයේ උදේ 8.00ට පමණ වනවිට රෝහලට පැමිණීම වැදගත්. එහි දී ඔබගේ වෙනත් රෝග සටහන් පොත් ඇත්නම් රැගෙන එන්න. සැත්කමට සැහැල්ලු‍වෙන් මුහුණදෙන්න.

ඔබ තුළ ඇතිවන අනියත බිය නිසා රුධිර පීඩනය ඉහළ ගියහොත් සැත්කම නිසි පරිදි සිදු කළ නොහැකි වනු ඇත.
ඔබ මේ වන විටත් සැත්කමකට ලක් වී ඇත්නම් වෛද්‍ය උපදෙස් පරිදි තයිරොක්සින් ඖෂධය නිසි මාත්‍රාවෙන් නිසි පරිදි දිනපතා උදෑසන ආහාර ගැනීමට ප්‍රථම භාවිතා කරන්න.

සැත්කමෙන් පසු යම් කාලයක් සැත්කම් ප්‍රදේශයේ සුළු වේදනාවක් තිබිය හැක.
ඉතාමත් සුළු පිරිසකට තුවාල ආසාදනය වීම් ඇතිවිය හැක.
නිසි පරිදි සැත්කම් තුවාල පිරිසිදු කිරීම හා ඖෂධ ගැල්වීම මගින් එය වළකාගත හැක.
පිළිකා වැනි තත්ත්වවල දී සැත්කමින් පසුව සිදු කළ යුතු ප්‍රතිකාර ක්‍රම වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබයි.
එම ප්‍රතිකාර නිසි පරිදි ලබාගැනීමෙන් ඔබගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කරගත හැක.

– මහේෂාණි මීගහපොල

Related posts
කායික රෝගමානසික රෝගරෝග

සරල පියවර, නිරන්තර පරීක්ෂාවන් මගින් තර්ජනාත්මක දියවැඩියා සංකූලතා වළක්වාගන්න

වෛද්‍ය නොයෙල් සෝමසුන්දරම් මහතා…
Read more
කායික රෝග

ඇදුම (Asthma) කියන්නේ බය වෙන්න ඕන ලෙඩක්ද?

වෛද්‍ය සචිත් හර්ෂණ බණ්ඩාරජ්‍යෙෂ්ඨ…
Read more
කායික රෝග

අධික රුධිර පීඩනය ගැන හරියටම දැනගන්න

කායික රෝග විශේෂඥතුෂාර ද සිල්වානවලෝක…
Read more
Newsletter
Become a Trendsetter
Sign up for Davenport’s Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published.