
babycenter ලෝක අධ්යක්ෂ සෙනෙහස
පදනමේ නිර්මාතෘ ළමා හා සෞඛ්‍ය
මාධ්‍යවේදිනී ශ්‍යාමලී පතිරගේ
අලුත උපන් පුංචි පැටියා ගැන මව් පදවිය ලැබූ ඔබ විතරක් නෙමේ හැමෝගෙම අවධානය ආදරය මේ පැටිය වෙනුවෙන්. ඒ නිසාම මේ පුංචාට බාහිර ආලේප ගල්වා ලස්සනට සුවඳට තියන්න කැමතියි. ඒත් ඔබ බබාට ගල්වන ආලේපන ගැන නම් දෙපාරක් සිතීම වැදගත්. මෙවර ඒ ගැන කතාකරන්නයි හදන්නේ.
බබෙකුගේ සම වැඩිහිටියකුගේ සමට වඩා 20-30% පමණ තුනී වගේම ඡ්‍ය අගය වැඩි නිසා ආසාදනයන් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩියි.
සම සම්පූර්ණයෙන්ම වැඩී නැති නිසා සමේ තෙතමනය ආරක්ෂා නොවෙනවා වගේම වියළි භාවයට පත්වීමට ඇති ප්‍රවණතාවය ද ඉහළයි. සමෙහි ජලය බොහෝ රඳවාගත්තත් තෙතමනය ඉතා වේගයෙන් අඩු වෙනවා. වැඩිහිටි සමකට වඩා දහස් ගුණයකින් සංවේදී ලෙස ක්‍රියා කරනවා. ඒ නිසාම ප්‍රමිතියකට අනුව පර්යේෂණ මගින් තහවුරු කළ නිෂ්පාදිතයන් ඔබ පැටියා වෙනුවෙන් භාවිතා කළ යුතුයි.
පුයරවල ඇති මැග්නීසියා නම් රසායනය ශ්වසන පද්ධතියට හානි කරයි. කුමන පුයර වර්ගයක් වුවද සුවඳින් සුමුදු බවක් දැනුන ද ශ්වසන පද්ධතියට අහිතකර බැවින් දරුවා කුඩාම අවදියේ භාවිතා කරන්න එපා. වැඩිහිටි දරුවකුට පවා ශ්වසන පද්ධතියට ඇතුළු වන ලෙසට පුයර භාවිත නොකරන්න.
ඕඩිකොලොන්වල මධ්‍යසාර අඩංගු වෙයි. මද්‍යසාර අඩංගු ක්ලෝන් සමට යෙදීමෙන් සම වියළි වී රළු වෙනවා. මධ්‍යසාර රහිත කොලොන් වර්ගයක් දරුවා සඳහා තෝරාගන්න. නමුත් සමට නොගෑවෙන ලෙස හා ශ්වසන පද්ධතියට ඇතුළු නොවන ලෙස සුවඳ ලබාදීමට පමණක් භාවිතා කරන්න. හිස වියළි කිරීමට හෝ අනතුරක් වූ විට යෙදීමට භාවිතය නම් සුදුසු නැහැ.
අවශ්‍ය විටෙක ළදරු ක්‍රීම් භාවිතා කළ හැකි වුවද සමෙහි රෝමකූප ආවරණය වන සේ නිතර ගල්වා තැබීම සුදුසු නොවේ. ස්වභාවිකවම දරුවාගේ සමේ තෙතමනය රැකෙන ද්‍රව්‍ය හා නිසි පෝෂණය ලබා දෙනවා නම් ක්‍රීම් භාවිතය අත්‍යවශ්‍ය නොවේ. දරුවාගේ සම්බාහනයට හා සමෙහි තෙතමනය ගිලිහුණු අවස්ථාවන්හි ක්‍රීම්වර්ග ස්වල්පයක් යොදා පිරිමැදීම සුදුසු වේ.
හිසට තෙල් ගැල්වීම කළ යුත්තේ නෑවීමට පෙරයි. දරුවාගේ හිසේ සම තෙල් තට්ටුවකින් ආවරණය කර තැබීම සුදුසු වෙන්නේ නැහැ. නිතර තෙල් වර්ග යෙදීමෙන් හිසෙහි ස්වභාවිකව ඇති තෙල් සහිත බව අහිමි කරවයි. නිතර තෙල් දැමීම පුරුද්දක් කරගැනීම නම් සුදුසු නැහැ. හිසට තෙල් දැමූ විට පැයකින් හෝ පැය 2 කින් ඉවත් කළ යුතුයි. හිස හා සිරුර සම්බාහනය සඳහා තෙල් වර්ග සුදුසු වුවත් ඒවා සෝදා ඉවත් කළ යුතුයි.
ඔබේ පුංචි පැටියාට ගල්වන ආලේපන හා විලවුන් පිළිබඳ වැඩිහිටි ඔබ දෙවරක් නොව සිය වරක් සිතීම වැදගත්. එයින් දරුවාට ඇතිවියහැකි හානි අවම කරගන්න ඔබට පුළුවන්.
-මහේෂාණි මීගහපොල