
ජීවනී දහනායක
දේශීය වෛද්‍ය විද්‍යායතනය
කොළඹ විශ්වවිද්‍යාලය
රාජගිරිය
0772 961461
jdahanayake@yahoo.com
වර්තමානයේ අප ජීවත්වන පරිසරයේ ඇති විවිධ සංඝටක නන් අයුරින් අප හට ආසාත්මිකතාවයන් ඇතිකරයි. මෙම සංඝටක අතරෙන් වායුගෝලයේ පවතින සමහරක් අංශු ආඝ්‍රහණය කළ විට ඇතැම් පුද්ගලයන් යම් යම් අසාත්මික ලක්ෂණ පෙන්නුම් කරන බව පෙනීයයි. උදාහරණයක් වශයෙන් දූවිලි, සතුන්ගේ ලෝම, මල්වල පරාග, දුම්, කෘමීන්ගේ අපද්‍රව්‍ය සහ ඇතැම් සුවඳ විලවුන් වර්ග යනාදී දෑ ආඝ්‍රහණය හේතුවෙන් යම් යම් පුද්ගලයන්ට ස්වසන ව්‍යූහාව සම්බන්ධ ආසාත්මික ලක්ෂණ ඇති වේ.
මෙයට හේතුව ලෙස සැලකිය හැක්කේ එම ආසාත්ම්‍යජනක ද්‍රව්‍ය ආඝ්‍රහණය වීමෙන් නාසයේ අභ්‍යන්තරව ඇති ශ්ලේෂ්ම පටලයේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයයි. බාහිරින් ඇතුළු වන මෙම අසාත්ම්‍යජනක ද්‍රව්‍යයට විරුද්ධව ශරීරය තුළ ඇතිවන ප්‍රතිශක්තිකාරක ක්‍රියාවලියන්හි (immune response) ප්‍රතිඵලයක් ලෙස හිස්ටැමින් (histamine) නම් සංඝටකය ස්‍රාවය වන අතර එමගින් පුද්ගලයා තුළ යම් යම් රෝග ලක්ෂණ ඇති කරවයි.
එම අවස්ථාවල දී බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ
අධික වශයෙන් වැඩි වාර ගණනක් කිවිසුම් යාම.
දියරමය තත්ත්වයෙන් නාසයෙන් සොටු දියර ගැලීම.
ඇස්, නාසය, උගුර කැසීම.
ඇස් රතුවීම හා කඳුළු ගැලීම.
නාසය සිරවීම.
මෙම තත්ත්වය නිතර නිතර ඇතිවන්නේ නම් එය පීනස් රෝග තත්ත්වයක් ලෙස අප දේශීය ව්‍යවහාරයේ හඳුන්වන අතර බටහිර වෛද්‍ය විද්‍යාත්මකව එය Allergic Rhinitis ලෙස හඳුන්වයි.
යම් පුද්ගලයකුගේ ප්‍රතිශක්තිය යහපත් මට්ටමක පවතී නම් මෙම අවස්ථාවන් ඇතිවීමේ ප්‍රවණතාවය අඩු වේ. එහෙත් යමෙකු තුළ ජානමය වශයෙන් ආසාත්මිකතාවලට නැඹුරුවක් වේ නම් අදාළ පරිසර සාධක හමුවේ එම ආසාත්මිකතා පැනනැගිය හැක.
ආයුර්වේද මතානුකූලව ඉහත දැක්වූ බාහිර සංඝටකවලට අමතරව එකිනෙකට නොගැලපෙන ආහාර රටාවන්, ශරීරයේ දිගුකල් පවතින අජීර්ණ තත්ත්වයන් හා විවිධ මානසික කාරණා ද මේ සඳහා බලපාන බව දක්වා ඇත. එමගින් පුද්ගල ශරීර බලහා ව්‍යාධික්‍ෂමතාවය අඩු වන ආකාරය මැනවින් විග්‍රහකර ඇත.
පුද්ගල ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීම මගින් මෙම රෝගී තත්ත්වය පාලනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා සාර්ථක ප්‍රතිකාර ක්‍රම ආයුර්වේද හා දේශීය වෛද්‍ය විද්‍යාව සතුව ඇත. ශරීරගත ආම තත්ත්වය නැති කිරීම, වෘද්ධි වූ සෙම් දෝෂය හා වාත දෝෂය සමනය කිරීම, ශරීර බල, ඕජස හා ප්‍රතිශක්තිය වැඩිකිරීම එම ප්‍රතිකාර පද්ධති මගින් සිදුවේ. ශරීර අභ්‍යන්තරයට යෙදෙන කසාය, චූර්ණ, ගුලි, කල්ක ආදිය ද හිසට යොදන තෙල් හා නස්න ක්‍රම ලෙස බාහිර චිකිත්සාවන් ද මෙයට ඇතුලත්ය. වර්තමානයේ මෙම ප්‍රතිකාරයන්හි සාඵල්‍යතාවය විද්‍යාත්මකව ද තහවුරු වී ඇත.
තවද අප ගන්නා ආහාර හා අපගේ විහරණ රටාවන් ක්‍රමවත් කරගැනීම මගින් ද මෙම පීනස් තත්ත්වය පාලනය කිරීමට මහත් රුකුලක් ලැබේ.
දිරවීමට පහසු ආහාර ගැනීම හා නිතර මද උණුසුම් ජලය පානය කිරීම සුදුසුය. එසේම අප භාවිත කරන දේශීය කුළුබඩු හා ආහාර රසකාරක අතරින් කහ, ගම්මිරිස්, කරාබුනැටි, සුදුළුනු, ලෙමන් ආදිය ද මෙම පීනස් තත්ත්වය පාලනයට උදව් වේ.
ශිත කළ ආහාර පාන වර්ග ගැනීමෙන් හැකි හැම විටම වැළකීම සුදුසු ය. යෝග ව්‍යායාම හා එයට අයත් ප්‍රාණයාම ක්‍රම පුහුණු වීමද තමාට සුපුරුදු දෛනික ව්‍යායාමවල යෙදීම වැනි විහරණ මගින් ද ශරීර ප්‍රතිශක්තිය ආරක්ෂා වේ.